රජවරු, ඇමතිවරු සහ ජනාධිපතිවරුන්ගේ නම් සටහන්ව තිබුණද සැබැවින්ම රටවල් ගොඩනඟන්නේ මහජනතාව බව නිවාස ඉදිදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී නිවාස අමාත්‍යාංශය වෙත අලුතින් බඳවා ගන්නා ලද ආධුනික සහායකයන් 55 දෙනකු සඳහා පැවති විෂය බාහිර වැඩමුළුවේ ආරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම ආධුනිකයන් සඳහා දින 5ක නේවාසික පුහුණු වැඩමුළුවක් ක්‍රියාත්මක වන අතර, ඉන් අනතුරුව ඔවුන් පෞද්ගලික ආයතන කිහිපයක ඉදිකිරීම් සහකාර තනතුරු සඳහා යෙදවීමට නියමිතය. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලෙන සේවකයන්ට නිසි ගෞරවයක්, අභිමානයක් සහ ස්ථිර වැටුපක් ලබා දීමට රජය කටයුතු කරන බවත්, “අත්වැඩ දෙන අය” හෝ “ලේබර්” වැනි වැරදි ආකල්ප වෙනස් කර ඔවුන්ට “ඉදිකිරීම් සහකාර” යන නිල හැඳුනුම්පත සහ පිළිගැනීම ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














