පැරාදීප් වෙරළට ඔබ්බෙන් අනතුරට ලක්වූ පාම් තෙල් මෙට්‍රික් ටොන් 9,000ක් සහ නැවියන් 23 දෙනෙකු සමඟින් ගමන් කරමින් තිබූ ‘MT Seagull 9’ නැමැති රසායනික ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාව සාර්ථක ලෙස බේරාගැනීමට ඉන්දීය වෙරළාරක්ෂක බලකාය (ICG) සමත් වී තිබේ. යානය අස්ථාවර තත්ත්වයට පත්වීමත් සමග ලැබුණු හදිසි ආපදා ඇමතුමකට අනුව වහාම ක්‍රියාත්මක වූ වෙරළාරක්ෂකයින් මෙම ක්ෂණික මෙහෙයුම ආරම්භ කර ඇත.
අතිශය අවදානම් සහිත කාලගුණික තත්ත්වය හමුවේ වුවද, විශේෂඥ හානි පාලන කණ්ඩායම අදාළ නෞකාවට ගොඩවී සබ්මර්සිබල් පොම්ප යොදාගනිමින් ජලය ඉවත් කිරීමටත්, හානියට පත් මුහුදු පයිප්ප අලුත්වැඩියා කර නෞකාවේ තිරස්තභාවය තහවුරු කිරීමටත් පියවර ගෙන තිබේ. අනතුරට ලක්වූ නෞකාව මේ වන විට ආරක්ෂිතව පැරාදීප් වරාය දෙසට ඇදගෙන යනු ලබන අතර, සාගර ආරක්ෂාව වෙනුවෙන් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය පැය 24 පුරාම සක්‍රීයව නිරීක්ෂණ කටයුතුවල නිරතව සිටී.
















