ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO) සහ එරට ගුවන් හමුදාව එක්ව දේශීයව නිපදවන ලද ‘TARA’ නම් අධි-තාක්ෂණික ග්ලයිඩ් අවි පද්ධතියේ ප්‍රථම පියාසර වාරය ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී සාර්ථකව අත්හදා බලා තිබේ. Tactical Advanced Range Augmentation ලෙස හැඳින්වෙන මෙම පද්ධතිය මගින් සාමාන්‍ය බෝම්බ, ඉතා නිවැරදිව ඉලක්ක වෙත එල්ල කළ හැකි මඟ පෙන්වන අවි බවට පරිවර්තනය කිරීමේ හැකියාව පවතී. මෙමගින් ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක ශක්තිය නව මානයකට ඔසවා තැබීමට සමත්ව ඇති බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
මෙම ග්ලයිඩ් බෝම්බවල ඇති විශේෂත්වය වන්නේ ගුවන් යානයකින් මුදාහැරීමෙන් පසු එහි ඇති පියාපත් දිගහැර ගුවනේ පාවෙමින් වැඩි දුරක් ගමන් කර නිශ්චිත ඉලක්කය වෙත පතිත වීමයි. මේ හරහා ප්‍රහාරක යානයට සතුරු ඉලක්කය වෙත සමීප නොවී ආරක්ෂිත දුරක සිට ප්‍රහාර එල්ල කිරීමට අවස්ථාව සැලසේ. හයිද්‍රාබාද්හි රිසර්ච් සෙන්ටර් ඉමාරාට් ආයතනය ඇතුළු පර්යේෂණාගාර කිහිපයක් එක්ව මෙම දේශීය තාක්ෂණය නිපදවා ඇති අතර එය දැනට ලොව බලවත් රටවල් සතු උසස් අවි පද්ධතිවලට සමාන මට්ටමක පවතී.
දැනට රුසියාව, ඇමෙරිකාව, චීනය සහ ඊශ්‍රායලය වැනි රටවල් සතු මෙවැනි තාක්ෂණයන් ඉන්දියාව විසින් දේශීයව නිපදවීම එරට ආරක්ෂක කර්මාන්තයේ සුවිශේෂී ජයග්‍රහණයකි. මීට පෙර ඊශ්‍රායලයෙන් මෙවැනි පද්ධති ලබා ගැනීමට දැවැන්ත මුදලක් වැය කිරීමට ඉන්දියාවට සිදුවූ අතර, මෙම නව නිපැයුමත් සමඟ විදේශීය අවි මත යැපීම අවම කර ගැනීමට ඔවුන්ට හැකි වනු ඇත. ඉන්දියාව සිය දේශීයව නිපදවන ලද මෙම නවීන අවි දැනටමත් සන්නද්ධ බලකායන් වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.














