27 April 2024
#දේශීය

ලබන වසරේ සිට සෑම ගමකින්ම නව ව්‍යවසායක්යෙකු බිහි කරනවා – ඇමැති නාමල්

ලබන වසරේ සිට සෑම ගමකින්ම නව ව්‍යවසායකයෙකු බිහි කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ තිරුක්කෝවිල් උදයසූරියම් ක්‍රීඩා සමාජයේ වොලිබෝල් ක්‍රීඩාංගණය විවෘත කිරීමට ඊයේ (13) එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය “කොවිඩ් 19 වසංගත තත්ත්වය සමග ඉතාමත් අපහසු කාලසීමාවක් අපි ගත කරන්නේ. එය ක්‍රීඩාවටත්, රැකියාවටත්, ආර්ථිකයටත් බලපා තිබෙනවා. රටක් විදියට තරුණ පිරිස එකතුවී ගම ගොඩනගන වැඩපිළිවෙලට දායකත්වය ලබා දීමෙන් අපිට මේ තත්ත්වයෙන් ඉතා ඉක්මනින් මිදෙන්න පුලුවන්. ලබන වසරේ සිට තරුණ තරුණියන්ගේ ව්‍යවසායකත්වය දියුණු කරන්න සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න සැළසුම් කර තිබෙනවා. සෑම ගමකම හොද ව්‍යවසායකයෙක් බිහි කරන කටයුත්ත අපි කරනවා. එම ව්‍යවසායකයාගේ නිෂ්පාදන ජාතික හා ජාත්‍යන්තර වෙළද පොළට අන්තර්ජාලය හරහා බෙදා හරින වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා. ගම්වල අලුතින් ව්‍යාපාරිකයින් බිහි කරන්න, රැකී රක්ෂා අවස්ථා ඇති කරන වැඩසටහන සදහා ඔබගේ සහයෝගය ලබා දෙන්න. අපේ අමාත්‍යාංශයේ බලාපොරොත්තුව එයයි. ජාත්‍යන්තරය ජය ගන්න පුලුවන් ක්‍රීඩකයින් මේ ගම්වලින් බිහි කරන්න අවශ්‍යයි. නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගෙන වෙරළ වොලිබෝල්, වෙරළ පා පන්දු නගා සිටුවන්න විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඉදිරි කාලයේදී දක්ෂයින් හදුනාගන්න අවශ්‍ය වැඩසටහන් අරගෙන මේ ගම්මානවලට අපේ අමාත්‍යාංශයේ නිළධාරීන් පැමිණෙනවා. ඒ සදහා ඉදිරිපත් වන්න. ජාත්‍යන්තරය ජය ගන්න පුලුවන් ක්‍රීඩකයින් මේ පළාතෙනුත් බිහි කරන්න අවශ්‍යය ගමන අපි ආරම්භ කරමු” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සදාසිවම් විලෙයාන්ද්රන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ මහතා ඇතුලු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් පිරිසක් සහභාගි වූහ

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *