27 April 2024
#දේශීය

‘කර්මාන්ත 2022 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය’ එළැඹෙන 03 සිට 06 දිනවල කොළඹදී

ශ්‍රී ලංකාවේ දැවැන්ත කර්මාන්ත පුනරුදයකට අවශ්‍ය මඟ නිර්මාණය කරමින් දියත් වන ජාතික වැඩපිළිවෙළක තවත් ජයග්‍රාහී පියවරක් ලෙස ‘කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය’ 2022 පෙබරවාරි 03, 04, 05, 06 යන දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

කර්මාන්ත අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කරනු ලබන ‘කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට’ මෙරට ප්‍රමුඛතම කර්මාන්ත ක්ෂේත්‍ර 20ක් නියෝජනය කරමින්, ඉදිරිපෙළ කර්මාන්තකරුවෝ ප්‍රදර්ශන කුටි 300ක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටිති.

මෙම ‘කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය’ 2022 පෙබරවාරි 03 වැනිදා උදේ 9:30ට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ඇරයුමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කෙරේ.

ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ මූලික අරමුණ වන්නේ දේශීය කර්මාන්තකරුවාට දෙස්, විදෙස් ආයෝජන අවස්ථා මෙන්ම නව වෙළෙඳපළ අවකාශයන් නිර්මාණය කර දීම බවත් එමගින් ඔවුනට නව වෙළෙඳපළ අභියෝගයන්, තාක්ෂණික හා ප්‍රාග්ධන අභියෝගයන් ජය ගත හැකි පරිසරයක් නිර්මාණය වනු ඇති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන පිරිසට දේශීය කර්මාන්තයන්හි ස්වභාවය හඳුන්වාදීමත් ඔවුන් තුළ දේශීය කර්මාන්ත ඇරැඹීමට උනන්දුවක්, පරිචයක් පවතී නම් ඒ වෙනුවෙන් වන මගපෙන්වීම, තාක්ෂණික දැනුම ලබාදීම, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සම්බන්ධ කර දීම පමණක් නොව ප්‍රාග්ධනය සපයාගත හැකි ආයතන සම්බන්ධකර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ සැපයීම මෙම ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ තවත් අරමුණක් බව ද වීරවංශ මහතා පෙන්වා දෙයි.

එපමණක් නොව මෙහිදී ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන අපගේ අනාගත පරපුර, එනම් පාසල් සිසුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බවත් ඔවුනට තම හැකියාවන් හා කැමැත්ත මත, විධිමත් වෘත්තීය පුහුණුවක් හරහා ව්‍යවසායකයකු වීමට අවශ්‍ය අභිප්‍රේරණය ඇති කිරීමට ද ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සූදානමින් සිටින බවත් වීරවංශ මහතා සඳහන් කරයි.

තවද මෙම ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය තුළින් විශ්වවිද්‍යාල, වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන මගින් කර්මාන්ත ක්ෂේත්‍රය මුල් කොට ගෙන සිදු කරනු ලැබූ නව නිපැයුම් සහ විවිධ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීමට මෙන්ම එම නිපැයුම් ප්‍රායෝගික නිෂ්පාදන යාන්ත්‍රණයකට සම්බන්ධ කර දීමට අවශ්‍ය පහසුකම් සපයාදීමට ද අපේක්ෂිතය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *