27 April 2024
#දේශීය

ශ්‍රී ලාංකිකයින්ට බ්‍රිතාන්‍යයේ රැකියා දොරටු විවර වේ

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සෞඛ්‍ය ආරක්ෂණ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් පසුගියදා (18) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් කෙරිණි.

මේ යටතේ ශ්‍රී ලාංකික හෙද හෙදියන්ට සහ අනෙකුත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සඳහා එක්සත් රාජධානියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිමය රැකියා අවස්ථා හිමිවේ.

ඒ සඳහා එක්සත් රාජධානිය පිළිගත් සුදුසුකම් ලබා තිබීම අත්‍යාවශ්‍ය වන අතර, IELTS ඉංග්‍රිසි භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව තිබීම අනිවාර්ය වේ.

මෙම අවබෝධතා ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළෙඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා සහ එක්සත් රාජධානියේ රජය වෙනුවෙන් දකුණු ආසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්සත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් සාමිවරයා අත්සන් තැබූහ.

මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, විදේශ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ සහ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *