27 April 2024
#දේශීය

නාවින්න කොව්ඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය හෙට සිට ක්‍රියාත්මකයි

මහරගම, නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ රෝහල අතරමැදි කොව්ඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිකාර සේවාවන් හෙට දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මහරගම අපෙක්ෂා රෝහලට සම්බන්ධ කොට අධීක්ෂණ කටයුතු සිදු කරන මෙම ආයුර්වේද රෝහල ඇඳන් 100 කින් යුක්ත වේ. පිරිමි 65 ක්, ගැහුණු 35 ක් සහ භික්ෂූන් වහන්සේලා 10 කට ප්‍රතිකාර ලබාගත හැකි භික්ෂූ වාට්ටුවකින් ද යුක්තය. දෛනිකව රෝගීන් පරීක්ෂා කිරීමේ කටයුතු සදහා කොවිඩ් ප්‍රතිකාර පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ පුහුණුවක් ලබාදුන් ආයුර්වේද වෛද්‍යවරු ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය යොදවා ඇත. බටහිර වෛද්‍යවරු මහරගම අපෙක්ෂා රෝහලෙන් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත. මෙහි ප්‍රතිකාර ලබන රෝගීන්ට ඔක්සින් පහසුකම් ද සපයා දීමට කටයුතු යොදා ඇත.

කොවිඩ් රෝගීන් ලියාපදිංචියේ සිට සුවය ලබා රෝහලින් පිටව යන තෙක් රෝගීන්ගේ දත්ත මෙන්ම කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා වෙන්කෙරුණු ආයුර්වේද රෝහල් 50 ක් එකට සම්බන්ධ කරමින් එම රෝහල්වල සියළු තොරතුරු නව පරිගණක මෘදුකාංගයක් මගින් එකට සම්බන්ධ කොට ඇත. එමගින් සෞඛ්‍ය සේවා සැපයීමේ දී විනිවිදභාවයකින් ගැටළු අවම කරගනිමින් ප්‍රතිකාර සේවාවන් ලබාදීමේ අවස්ථාව උදාව ඇත. මෙම ආයුර්වෙද රෝහල කොවිඩ් අතරමැදි ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීමේ දී යුධ හමුදාවේ 10 ශ්‍රී ලංකා ආරක්ෂක බලමුළුවෙන් ශ්‍රම දායකත්වය ලබා දී ඇත.

මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර, ආයුර්වේද කොමසාරිස් මේදාවි දිසානායක, ආයුර්වේද පර්යේෂණ රෝහලේ අධ්‍යක්ෂ ආචාර්ය සේනක පිලපිටිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ස්වර්ණා කළුතොට, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කාර්යභාර වෛද්‍ය නිලධාරී පී. හේවාගමගේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *