ලෝක පාපන්දු ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සමාරම්භක උත්සව තුනකින් ආරම්භ කිරීමට ෆිෆා (FIFA) ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව සත්කාරකත්වය දරන රටවල් වන ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් තුනෙහිම පළමු තරගයන්ට පෙර මෙම දැවැන්ත සංගීත ප්‍රසංග පැවැත්වීමට නියමිතය. මෙක්සිකෝ නගරයේ එස්ටැඩියෝ ඇස්ටෙකා ක්‍රීඩාංගණයේදී ජුනි 11 වනදා පැවැත්වෙන ප්‍රථම උත්සවය කොලොම්බියානු තරුවක් වන ජේ බල්වින් සහ දකුණු අප්‍රිකානු ගායිකා ටයිලාගේ ඉදිරිපත් කිරීම්වලින් හැඩවනු ඇත.
තරගාවලියේ දෙවන දිනය වන ජුනි 12 වනදා කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී මයිකල් බුබ්ලේ සහ ඇලනිස් මොරිසෙට් විසින් කැනේඩියානු සමාරම්භක උත්සවය මෙහෙයවීමට නියමිතය. එදිනම ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සෝෆායි (SoFi) ක්‍රීඩාංගණයේදී ලෝක ප්‍රකට පොප් තරුවක් වන කේටි පෙරී සහ රැපර් ගායක ෆියුචර් ඉදිරිපත් කරන විශේෂ ප්‍රසංගයකින් ඇමරිකානු අදියර ආරම්භ වනු ඇත. රටවල් තුනක සංස්කෘතික අනන්‍යතාවයන් සහ එක්සත්භාවය විදහා දැක්වීම මෙම උත්සවයන්හි ප්‍රධාන අරමුණ බව ෆිෆා සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ ප්‍රකාශ කරයි.
මීට අමතරව මෙවර ලෝක කුසලාන නිල ගීතය සඳහා ප්‍රකට ගායිකා ශකීරා සහ නයිජීරියානු ගායක බර්නා බෝයි එක්ව සිටින බවද වාර්තා වේ. සංගීතය, සංස්කෘතිය සහ පාපන්දුව එකට යා කරමින් පැවැත්වෙන මෙම සුවිශේෂී සමාරම්භක වැඩපිළිවෙළ ලොව පුරා ප්‍රේක්ෂකයින්ට නවමු අත්දැකීමක් වනු නොඅනුමානය. ලෝක කුසලාන තරග 104 ක් පුරා දිවෙන මෙම දැවැන්ත ක්‍රීඩා මංගල්‍යය ආරම්භ කිරීමට දැන් සියල්ල සූදානම් කර ඇති අතර එය සැබවින්ම ගෝලීය සැමරුමක් වනු ඇත.














