27 April 2024
#දේශීය

මෙරටට අවශ්‍ය ඖෂධ වසර 05 තුළ නිෂ්පාදනය කිරීමට සැලැසුම් – සෞඛ්‍ය ඇමැති කෙහෙලිය

වසර 05 ක් තුළ රටට අවශ්‍ය ඖෂධ රට තුළ නිෂ්පාදනයට සැලැසුම් කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පසුගිය 01 වනදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමුවු අවස්ථාවේදිය.

මෙය අදියර 05 ක් යටතේ 50 % ක් ක්‍රියාත්මක කිරීමටත්, පළමු අවුරුදු 02 සඳහා ආයෝජන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බවත්, අමාත්‍යවරයා පෙන්වා දෙයි .මෙහි මුල් අදියර සඳහා ඇමරිකානු ඩොලර් මිලියනයක්ද, දෙවන අදියරට ඇමරිකානු ඩොලර් මිලියන 05 ක්ද, නැවත ඇමරිකානු ඩොලර් මිලියන 10 ක්ද ආදී වශයෙන් මේ සඳහා ආයෝජන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍යවරයා පවසයි.

මේ වන විටත් ඖෂධ නිෂ්පාදනය සඳහා පියවර ගෙන ඇතැයිද, ඒ අනුව සේලයින් නිෂ්පාදනය රට තුළ සිදු කෙරෙන්නේ යැයිද අමාත්‍යවරයා පැවසීය. විශේෂයෙන් වෙළඳ කලාප මට්ටමින් ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කිරීම ඉතා ඵලදායී මෙන්ම ලාභදායී බවත්, මේ සඳහා යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීමද වඩාත් සාර්ථක වන බවත්, රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේය.

මේ වන විට බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ මෙන්ම එන්නත්කරණ ක්‍රියාවලියේ ඉහළ සාධනීයත්වයක් පෙන්නුම් කරන බවත්, එමෙන්ම ළමුන්ගේ එන්නත්කරණයද රට තුළ සාර්ථක වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවැසිය.
විශේෂයෙන් මෙරට ක්‍රියාත්මක කළ ගෘහස්ථ කොවිඩ් ප්‍රතිකාර ක්‍රමය සාර්ථක වූ බවද එලෙස ප්‍රතිකාර සඳහා යොමු කෙරුණු පිරිසෙන් 1.4% ක් පමණක් රෝහල් ගත කෙරුණු බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. විශේෂයෙන් වසංගතයේ උච්චතම අවස්ථාවේ රජය ගනු ලැබූ එම තීරණය වඩාත් සාර්ථක බව පෙන්නුම් කෙරුණු බවත්, එමගින් රෝහල්හි ඇතිවිය හැකි අනවශ්‍ය තදබදය මගහැරුණු බවත් අමාත්‍යවරයා ඉන්දියානු මහ කොමසාරිස්වරයා හමුවේ පැවසීය.

 

 

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *