පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ පිපිරීමෙන් හානි වූ කොටස් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහාය ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එකඟ වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
රෝහලේ සිදුවූ පිපිරීමෙන් ඇති වූ හානිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවත්, හානියට පත් ගොඩනැගිල්ල යථා තත්ත්වයට පත් කර රෝහලේ සාමාන්‍ය කටයුතු කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාව තමන් පෙන්වා දුන් බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා විසින් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යුද්ධ හමුදාව යොදාගැනීමට යෝජනා කළ බවත්, හමුදාව දැනුවත් කර ඉක්මනින්ම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසා තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් 26 වැනිදා අලුයම 4.30ට පමණ රෝහලේ මුළුතැන්ගෙය ආශ්‍රිතව සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා තිබූ අතර, පසුව එක් රෝහල් සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා. පිපිරීමෙන් මුළුතැන්ගෙය පිහිටි ගොඩනැගිල්ලටද දැඩි හානි සිදුව තිබෙනවා.
මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ, චීන ආධාර යටතේ ඉදිකළ මෙම රෝහල යළි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයා, රජය සහ චීන රජයේ සහාය ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
















