පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මෑතකදී සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි කණගාටුව ප්‍රකාශ කර ඇති අතර, තමා දැඩි ලෙස ආරක්ෂා කළ එම ආයතනයේ සිදු වූ මෙම අනතුර තම ජීවිතයේ “වඩාත්ම වේදනාකාරී දිනය” ලෙස හැඳින්වී තිබේ. චීන රජයේ ආධාර යටතේ ඉදිකළ මෙම රෝහලේ සේවය කරන අතරතුර ජීවිතක්ෂයට පත්වූ සේවකයාට ශෝකය පළ කරන මෛත්‍රීපාල සිරිසේන මහතා, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.
අනතුර සිදු වූ අවස්ථාවේ රෝහල යුධ පිටියක් බඳු වූ බැවින් සහ හදිසි ප්‍රතිස්ථාපන කටයුතු නිසා තමා වහාම එහි නොගිය බව පැහැදිලි කළ හිටපු ජනාධිපතිවරයා, මෙම පුනරුත්ථාපන කටයුතු පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් වෙත පවරනවා වෙනුවට ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටි බවත්, ජනාධිපතිවරයා ඒ සඳහා එකඟ වූ බවත් සඳහන් කළේය. මීට අමතරව, අලුතින් පත් වූ චීන තානාපතිවරයා හමුවී සාකච්ඡා කළ බවත්, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත ලිපියක් යොමු කරමින් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල් සිටි බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
















