27 April 2024
#සංවර්ධන

නිවැරදි තොරතුරු මාධ්‍යවලින් ජනතාවට ලබා දෙන්න – රාජ්‍ය අමාත්‍ය ඉන්දික

ජනාධිපතිවරයා ගෙනයන නිවැරදි වැඩපිළිවෙල අගය කර නිවැරදි තොරතුරු ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස මෙරට මාධ්‍ය ආයතන වලින් තමන් ගෞරවයෙන් ඉල්ලා සිටින බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ග්‍රාම නිලධාරී වසමකට එක් ග්‍රාමීය කර්මාන්ත ව්‍යවසායකයෙකු බිහිකිරීමේ වැඩසටහන යටතේ දිවුලපිටිය කොට්ඨාසයේ ප්‍රතිලාභීන් 91 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 61 ක් වටිනා ස්වයං රැකියා උපකරණ ලබා දීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

වාහන, කිරිපිටි ආනයනය නතර කර ඉන්ධන ආනයනය සීමා කර ජනතාව ජීවත් කරවීමට පළමු ඉඩ ලබා දෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මෙරට සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත කොරෝනා එන්නතේ තුන්වන මාත්‍රාව ජනතාවට ලබා දීමට ජනාධිපතිවරයා කඩිනමින් ක්‍රියා කළ බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, ජනතාව වෙනුවෙන් එසේ කටයුතු කළද ඇතැම් පුද්ගලයින් ආණ්ඩුව ෆේල් යැයි කියන බවත් පැවසීය.

කාබනික වගාව තුළ රටට කොපමණ දුරක් යා හැකිද යන කරුණු මෙන්ම කාබනික වගාව සාර්ථකව ක්‍රියාත්මක කරන ගොවි ජනතාව පිළිබඳව මාධ්‍ය හරහා ජනතාවට පෙන්වීමට කටයුතු කරන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

දේශීය ව්‍යවසායකයින්ගෙන් ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වය නිසියාකාරව ගණනය කළහොත් ඩොලර් ලබා ගැනීමට අපට ගැටළුවක් නොවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

 

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමාගේ මැදිහත් වීම මත එම රාජ්‍ය අමාත්‍යංශය විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන අතර මහන මැෂින්, කොම්පෝස්ට් මැෂින්, පොලිතීන් සීලර් යන්ත්‍ර, බේකරි නිෂ්පාදන විදුලි උදුන් (අවන්), මල් පෝච්චි අච්චු හා වඩු උපකරණ ඇතුළු උපකරණ මෙහිදී ලබා දෙන ලදි.

මෙම අවස්ථාවට දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික ජයසිංහ මහතා, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. ඩී. කුමාරි මහත්මිය ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගි වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *