27 April 2024
#දේශීය

රසායනික පොහොර ගෙන්වීමට මැලිකමක් දක්වන්නේ විකුණගන්න බැරි වෙයි කියලායි – රාජ්‍ය ඇමැති දුමින්ද

පුද්ගලික අංශයට අවශ්‍යය තරම් රසායනික පොහොර ආනයනයට අවසර දුන්නද, පොහොර වල මිල මේ වන විට පස්ගුණයින් පමණ ඉහළ යාම හේතුවෙන් පොහොර ආනයනය කර විකුණාගත නොහැකි වේයැයි බියෙන් සමාගම් රසායනික පොහොර ගෙන්වීමට මැලිකමක් දක්වන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර තිරප්පනය, උලන්කුළම ගොවි සංවිධානයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ජාවකදීය. මෙම සාකච්ජාව උලංකුළම මරණාධාර සමිති ශාලාවේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, ” පොහොර ටික මේ වන විට පුද්ගලික සමාගමක් සතුව තියෙන්නේ,මේ ටික රජයේ සහනාධාර පොහොර විදිහට තමයි ගෙන ආවේ.ඒ සමාගම කියනවා දවසකට ඒ අයට එළියට දාන්න පුලුවන් මෙට්ට්‍රික් ටොන් 100 ක් විතරයිලු.මොකද ඒ සියලුම පොහොර උර මාරු කරන්න ඕන කියනවා. රජයේ සහනාධාර පොහොර කියන උරය අයින් කරන්න ඕන කියලා.හැබැයි පොහොර ලේකම් කාර්යාලයේ ලේකම්තුමා වගකීම භාර ගත්තා සහනාධාර පොහොර කියලා තිබුණට මේක කමක් නෑ, අපි හැමෝම දැනගෙන කරන වැඩක් නේ මේක.අපි කණගාටු වෙනවා හැබැයි ඉතින් තාම අදාළ නිළධාරීන්ට බැරි වෙලා තියෙනවා මේ පුද්ගලික අංශයේ තියෙන පොහොර ටික අරගෙන හරියට බෙදාලා දෙන්න.මම ගිය සතියෙත් රණ්ඩු කර ගත්තා.මොකද මේ වෙලාවේ මේ ටික අපිට ලැබුණේ නැත්නම් වැඩක් නෑනේ.අපි මේ ටික වෙන් කර ගත්තේ ගොඩක් අමාරුවෙන්.වෙන් කර ගත්ත ටික නියම වෙලාවට ගෙන්න ගත්තේ නැත්නම් කිසිම තේරුමක් නෑ.මං ගිය සතියේ ඇමතිවරු දෙන්නටම කිව්වා, ලේකම්ලට කථා කලා, පොහොර ලේකම් කාර්යාලයට කථා කලා, හැමෝටම කථා කරලා තමයි ඔය විදිහට හරි පොහොර ටික එන්නේ.” යැයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍යය සරත් ඉලංගසිංහ, තිරප්පනය ප්‍රාදේශීය සභාවේ සභාපති රොෂාන් ඉලංගසිංහ යන මහත්වරුන් හා දේශපාලන නියෝජිතයන්, ගොවි සංවිධාන නිළධාරීන් ඇතුළු ගොවි ගෙවිලියන් සහභාගී වූහ.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *