27 April 2024
#දේශීය

සිසු ජීවිතයෙන් වසරක් එකහමාරක් ඉතිරි කිරීම ජාතියෙ අනාගතයට කෙරෙන ස්වර්ණමය ආයෝජනයක් – -අධ්‍යාපන අමාත්‍ය

සාමාන්‍ය පෙළ සිසුවකු උසස් පෙළ හදාරන්ට ප්‍රවිෂ්ඨ වන කාලය අවම කරන්නට, උසස්පෙළ සිසුවකු විශ්වවිද්‍යාලය දක්වා වන ප්‍රවිෂ්ඨ වන කාලය අඩු කරන්නට සාකච්ඡා කරමින් පවතින බවත් ඒ අනුව සිසු ජිවිතයෙන් වසර එකහමාරක් ඉතිරි කිරීමට හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රුපියල් මිලියන 102 වැය කෙරෙන, රක්වාන ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලයේ තෙමහල් තාක්ෂණ පීඨ ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භය සහ විද්‍යාලය ජාතික පාසලක් බවට ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම තාක්ෂණ තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 62 ක්ද තාක්ෂණ උපකරණ සඳහා රුපියල් මිලියන 40 ක්ද වැය කෙරේ.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා “මෙවැනි තාක්ෂණ පීඨ උතුරුකරයේ සිට දකුණුකරය දක්වා සිංහල, දෙමළ, මුස්ලිම් හා මිශ්‍ර පාසල් වල ස්ථාපිත වෙමින් පවතිනවා. ඒ හෙට ලොවට පිවිස රටේ අනාගතය බාර ගන්නට සැරසෙන දරුවා නව ලොවට සරිලන දැනුමෙන් සන්නද්ධ කිරීම සඳහායි. Covid වසංගතය නිසා විභාග කල් ගොස් තිබුණා. දරු දැරියන් දෙමාපියන් මේ නිසා මහත් මානසික ව්‍යාකූල තත්වයන්ට පත්ව සිටියා. Covid සාමාන්‍යකරණය යටතේ සෞඛ්‍ය උපදෙස් මත ඒ විභාග පවත්වන්නට තීරණය වුණා. පහ වසර ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව පැවැත්වුනා. උසස් පෙළ විභාගය පෙබරවාරි 07 පටන් ගන්නවා. මේවට වැට මායිම් බඳින්න හදන්නේ දරුවන්ගේ අනාගතය අඳුරු කර රට ආපස්සට හරවන්න කටයුතු කරන ප්‍රතිගාමී බලවේග. දරුවන් දෑස් දල්වා බලා සිටි සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල අපට නිකුත් කරන්න හැකි වුණා. එහිදී උසස් පෙළ ප්‍රවිෂ්ඨයට සෞන්දර්ය ප්‍රතිඵල රුකුලක් කරන්නට අපි තීරණය කලා. සාමාන්‍ය පෙළ සිසුවකු උසස් පෙළ හදාරන්ට ප්‍රවිෂ්ඨ වන කාලය අවම කරන්නට, උසස්පෙළ සිසුවකු විශ්වවිද්‍යාලය දක්වා වන ප්‍රවිෂ්ඨ වන කාලය අඩු කරන්නට අප කතිකාවතක යෙදෙමින් සිටිනවා. විභාග ප්‍රතිඵල කඩිනම් කිරීම, විභාග කාල රාමු සංශෝධනය, විශ්වවිද්‍යාල ඇතුළු විමේ ප්‍රමාණය වැඩි කිරීම ඒ අතර වනවා. මේ තුළින් සිසු ජීවිතයෙන් වසරක් එකහමාරක් ඉතිරි වේවි. ඒ ඉතිරි කරන කාලය මහා අනාගත ජාතික ආයෝජනයක්. සෞඛ්‍ය උපදෙස් සහ නිර්දේශ යටතේ අපට නැවත පාසල් පටන් ගන්නට හැකි වුණා. පන්ති කාමරය නිවසේ කාමරයට කොටුවී තිබුණු කාලය අවසන් කරන්නට හැකි වුණා. දරුවන්ගේ ජයග්‍රහණ පමණක් නොව, වසර විසි හතරක් තිස්සේ නොවිසඳී තිබූ ගුරු වැටුප් ප්‍රශ්නය විසඳන්න අපට හැකි වුණා. රට ආර්ථික වශයෙන් ඉතාමත් අපහසු තත්ත්වයක තිබියදීත් අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, මුදල් ඇමතිතුමා ඒ සඳහා කටයුතු කළා. උසස් අධ්‍යාපනය නොලදත් පාසලෙන් පිටවන සෑම දරුවකුටම රැකියාවක් සඳහා සුදුසුකම් ලබා දීමේ අවස්ථාව අපි ඇති කරමින් සිටිනවා.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, මුදිතා සොයිසා, යදමිණි ගුණවර්ධන, ජෝන් සෙනෙවිරත්න, හිටපු පළාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන්, විදුහල්පති කේ. කමලේෂ්වරන් ඇතුළු ගුරු සිසු දෙමාපියන් එක්විය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *