ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (29) පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය (OPR) දැනට පවතින 8.75% මට්ටමේම පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.
දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ ඉදිරි ආර්ථික දැක්ම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව මහ බැංකුව සඳහන් කරයි.
2026 මැයි මාසයේදී ක්‍රියාත්මක කළ දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම මෙන්ම මැදපෙරදිග වර්ධනය වන භූ දේශපාලනික ආතතීන් සහ එල්නිනෝ තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් පිළිබඳවද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.
2026 වසරේ පළමු අර්ධයේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.7%ක සැබෑ වර්ධනයක් වාර්තා කරමින් අඛණ්ඩ ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බව මහ බැංකුව පවසයි.
මේ අතර, 2026 අගෝස්තු මාසයේදී මෙරට ප්‍රධාන උද්ධමනය වාර්ෂික පදනම මත 8% දක්වා ඉහළ ගොස් ඇති අතර, බලශක්ති මිල ඉහළ යාමේ බලපෑම ආර්ථිකයේ විවිධ අංශ වෙත සම්ප්‍රේෂණය වීම ඊට ප්‍රධාන හේතුවක් බව මහ බැංකුව සඳහන් කරයි.
උද්ධමනය 2027 වසරේ පළමු කාර්තුව දක්වා ඉහළ තනි ඉලක්කම් මට්ටමක පැවතීමෙන් අනතුරුව 5%ක ඉලක්කය වෙත ක්‍රමයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවද මහ බැංකුව පවසයි.
2026 අගෝස්තු අවසානය වන විට මෙරට දළ නිල විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මහ බැංකුව සිදුකළ ශුද්ධ විදේශ විනිමය මිලදී ගැනීම්ද සංචිත ඉහළ යාමට දායක වී තිබෙනවා.
















