නියමු ව්යාපෘතියක් ලෙස ක්රියාත්මක වන රියදුරු අකුසලතා ලකුණු ලබාදීමේ ක්රමවේදය යටතේ යම් රියැදුරෙකු අකුසලතා ලකුණු 30ම ලබාගැනීමෙන් අනතුරුව අනුගමනය කරන නීතිමය පියවර පිළිබඳව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා ‘අද දෙරණ බිග් ෆෝකස්’ වැඩසටහනට එක්වෙමින් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර ඇත. රියැදුරෙකුගේ ලකුණු 30 සීමාව ආසන්න වනවිට කෙටි පණිවුඩයක් මඟින් ඒ බව දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති අතර, ලකුණු 30 සීමාව ඉක්මවා ගිය සැණින් බලපත්රය අත්හිටුවූ බවට ලැබෙන කෙටි පණිවුඩය ලැබුණු දින සිට දින 7ක් ඇතුළත අදාළ බලපත්රය පොලිසිය වෙත භාරදීම අනිවාර්ය වේ.
එලෙස භාරදෙන බලපත්ර විශේෂ ආකෘති පත්රයක් මඟින් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරෙන අතර, සාමාන්යයෙන් මෙලෙස ලකුණු පූර්ණ වන රියැදුරෙකුගේ බලපත්රය වසරක කාලයකට අත්හිටුවනු ලබයි. නියමිත දින 7 ඇතුළත බලපත්රය භාරදීමට අපොහොසත් වුවහොත් තහනම් කාලසීමාව තවත් දීර්ඝ වන බව නියෝජ්ය පොලිස්පතිවරයා පෙන්වා දී ඇත. කෙසේ වෙතත්, මෝටර් ප්රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා විසින් අනුමත කරන ලද පුහුණු පාඨමාලාවකට සහභාගී වීමෙන් මෙම වසරක තහනම් කාලසීමාව මාස 3ක් දක්වා අඩු කරගැනීමේ අවස්ථාව රියැදුරන්ට හිමිවේ.
මාර්ග වැරදි 47ක් සඳහා බලපැවැත්වෙන මෙම ක්රමවේදය යටතේ අපරික්ෂාකාරී රිය ධාවනය වැනි බරපතළ වැරදි සඳහා උපරිම ලකුණු 7ක් වෙන් කර ඇති අතර, පොලිස් සැරයන්වරයෙකුගෙන් ඉහළ නිලධාරීන්ට පමණක් මෙම පද්ධතියට ලකුණු ඇතුළත් කිරීමේ බලය පවතින බවද වැඩිදුරටත් සඳහන් වේ.














