විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කරමින්, වර්තමාන ගෝලීය අභියෝග හමුවේ බහුවිධභාවය සහ ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කරනු ලැබුවා. ලෝකය පුරා ජනතාව තම නායකයින්ගෙන් සහ ආයතනවලින් වඩාත් පැහැදිලි බවක්, සත්‍යවාදී බවක් මෙන්ම ක්‍රියාකාරීත්වයක් ඉල්ලා සිටින මෙම යුගයේ, විසඳී නැති ගැටුම් සහ දේශගුණික විපත් වැනි අභියෝගවලට මුහුණ දීම සඳහා ගෝලීය මට්ටමින් විශ්වාසය නැවත ගොඩනැගිය යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ. පසුගිය වසරවල ශ්‍රී ලංකාව මුහුණ දුන් දැඩි ආර්ථික අර්බුදයෙන් සහ ස්වාභාවික ව්‍යසනයන්ගෙන් අනතුරුව, රට නැවතත් සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් කරා ළඟා වී ඇති බවත්, ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව නැවතත් ඉහළ මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයක් ලෙස වර්ගීකරණය කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නා. විශේෂයෙන්ම මෑතකදී මුහුදු සීමාවේදී අනතුරට පත් වූ නෞකාවක සිටි පිරිස් බේරා ගැනීමට රටේ සීමිත සම්පත් මැද කටයුතු කළ ආකාරය සිහිපත් කරමින්, “විශාල හදවතක් ඇති කුඩා දූපත් රාජ්‍යයක් ලෙස මානුෂීයභාවයට සැමවිටම ඉඩක් ලබා දෙනවා” යැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.
















