නුවරඑළිය ග්‍රෙගරි වැවෙහි ජලයේ ගුණාත්මකභාවය සහ අවට පරිසරය පිරිහීම සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු විසඳීමේ අරමුණින්, එහි සංරක්ෂණ හා කළමනාකරණ කටයුතු අධීක්ෂණය සඳහා විශේෂ කමිටු දෙකක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම පියවර ගෙන ඇති අතර, ඒ යටතේ පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් “අධීක්ෂණ හා කළමනාකරණ කමිටුවක්” ද, අදාළ රාජ්‍ය ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත “ග්‍රෙගරි වැව සංරක්ෂණ හා පුනරුත්ථාපන ක්‍රියාකාරී කමිටුවක්” ද පිහිටුවීමට නියමිතය.
දශක ගණනාවක් පුරා සිදුව ඇති රොන්මඩ තැන්පත් වීම්, පොහොර හා කෘමිනාශක අඩංගු කෘෂිකාර්මික අපද්‍රව්‍ය වැවට එකතු වීම සහ නාගරික ක්‍රියාකාරකම් හේතුවෙන් වැවට මුදාහැරෙන අපද්‍රව්‍ය නිසා එහි පොස්පේට්, නයිට්රජන් සහ ජෛව රසායනික ඔක්සිජන් මට්ටම් සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සිදු කළ අධ්‍යයන මගින් අනාවරණය වී තිබේ. 2007 වසරේදී පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙස නම් කරන ලද ග්‍රෙගරි වැව සහ එහි ජල පෝෂක ප්‍රදේශය විද්‍යාත්මක ක්‍රමවේද හරහා අඛණ්ඩව ආරක්ෂා කරගැනීම මෙම නව කමිටු හරහා සිදු කිරීමට අපේක්ෂා කෙරේ.
















