‘අපේ ආණ්ඩුව – වසර දෙකයි – රටට සුබයි’ යන තේමාව යටතේ ගම්පහ පැවති ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා මෙරට මාසික ඉන්ධන ආනයනික වියදම ඩොලර් මිලියන 150 සිට ඩොලර් මිලියන 300 දක්වා දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දුන්නේය. මෙරටින් බැහැරට ඇදී යන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යාම ආර්ථිකයේ ජංගම ගිණුමේ ශේෂය මෑත මාසවලදී සුළු වශයෙන් ඍණ වීමට සෘජුවම බලපෑ බව හෙතෙම වැඩිදුරටත් පැහැදිලි කළේය.
කෙසේ වෙතත්, වත්මන් පාලනයේ පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත්ම හා සාර්ථකම ආර්ථික දර්ශක රැසක් වාර්තා කිරීමට රජය සමත් වී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. දිර්ඝ කාලයක් පුරා පැවති අයවැය හිඟය 2.3% දක්වා පහත හෙළීමටත්, ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,800ක ඓතිහාසික අතිරික්තයක් පවත්වා ගැනීමටත් හැකිවීම හරහා වත්මන් රජයට ආර්ථිකය කළමනාකරණය කළ නොහැකි බවට විපක්ෂය එල්ල කළ සියලු සැක සංකා ප්‍රායෝගිකවම බිඳහෙළා ඇති බව ඔහු කියා සිටියේය.
ගෝලීය ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, ජනතා අපේක්ෂා සුරක්ෂිත කරමින් සහ රටේ මූල්‍ය ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජය පියවරනිමින් සිටී. මෙම ආර්ථික තත්ත්වයන් මත පදනම්ව ජනතාවට සහන සැලසීමේ අරමුණින් ඉදිරි මාස තුන සඳහා රුපියල් බිලියන 41ක දැවැන්ත ඉන්ධන සහනාධාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිත බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
















