ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ දශක ගණනාවක් පුරා පැවති කඩදාසි මත පදනම් වූ ලිපිගොනු ක්‍රමවේදය සහ අකාර්යක්ෂමතාවන්ට සමුදෙමින්, රාජ්‍ය ආයතනවල මානව සම්පත් කළමනාකරණය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීම අරමුණු කරගත් ‘GovHR’ නව ඩිජිටල් පද්ධතිය නිල වශයෙන් හඳුන්වා දී තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී (SLIDA) මෙම නව තාක්ෂණික වේදිකාව දියත් කරන ලද අතර, ඒ හරහා මිලියන 1.2කට ආසන්න රාජ්‍ය සේවකයින්ගේ තොරතුරු මධ්‍යගත පාලනයකට යටත් කෙරේ.
මෙම නවීන ඩිජිටල් පද්ධතිය මඟින් සේවක බඳවා ගැනීම්, උසස්වීම්, මාරු කිරීම්, පුහුණු වැඩසටහන්, කාර්ය සාධන ඇගයීම් මෙන්ම විශ්‍රාම ගැන්වීමේ කටයුතු දක්වා වූ සමස්ත මානව සම්පත් ක්‍රියාවලියම විනිවිදභාවයකින් සහ වගවීමකින් යුතුව පවත්වාගෙන යාමට අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම, වසර ගණනාවක් පුරා රාජ්‍ය සේවයේ පැවති බෝතල් ගෙල බඳු ප්‍රමාදයන් මඟහරවා ගනිමින් සහ භෞතික ලිපිගොනු නඩත්තු කිරීමේ දුෂ්කරතාවන්ට ස්ථිර විසඳුම් ලබා දීමට මෙමඟ හැකි වන බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා මෙහිදී අවධාරණය කළේය.
වත්මන් රජය විසින් මේ වසර තුළ අතිරේක රාජ්‍ය සේවකයින් 120,000කට අධික පිරිසක් බඳවා ගැනීමට පියවර ගෙන ඇති පසුබිමක, මෙම දැවැන්ත මානව සම්පත් සංචිතය විධිමත් ලෙස හැසිරවීම සඳහා ‘GovHR’ පද්ධතිය සුවිශේෂී පිටුවහලක් වනු ඇත. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නංවාලමින් මහජනතාව වෙත වඩාත් ගුණදායක හා වේගවත් සේවාවක් ලබා දීමටත්, දූෂණය හා ප්‍රමාදයන් අවම කළ ඩිජිටල් ආණ්ඩුකරණයක් රට තුළ තහවුරු කිරීමටත් මෙම ක්‍රියාමාර්ගය තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු නිසැීය.
















