ස්වාභාවික ආපදාවන්ගේ බලපෑමට ලක් වූ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට රජය ගෙන ඇති වැඩපිළිවෙළ සහ අමෙරිකානු රජයේ සහයෝගය ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති එරික් මේයර් සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් මහනුවරදී පවත්වා තිබේ. නව අමෙරිකානු තානාපතිවරයා මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදී මෙම සාකච්ඡාව සිදුව ඇත.
මෙහිදී මධ්‍යම පළාතේ සංචාරක කර්මාන්ත සංවර්ධනය, සංචාරක විභවතාවලින් උපරිම ප්‍රයෝජන ගැනීම සහ ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක් වූ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ. එසේම, මධ්‍යම පළාතේ ආබාධ සහිත ප්‍රජාව සඳහා අධ්‍යාපන හා රැකියා අවස්ථා පුළුල් කරමින් ඔවුන් සමාජයේ ඉදිරියට ගෙන ඒම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.
















