අවස්ථාවාදී ප්රතිගාමී වෘත්තීය සමිති කිහිපයක් සූදානම් කර ඇති දුම්රිය වැඩවර්ජනයේ කිසිම අර්ථයක් නැතැයි සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එස්.ජී. විතානගේ මහතා පවසයි. දුම්රිය සේවාව නවීකරණය කරමින්, සේවක පඩි වැඩි කරමින්, මගී ජනතාවටද පහසුකම් සලසමින් වත්මන් රජය කටයුතු කරමින් සිටින මේ අවස්ථාවේ දේශපාලන වුවමනාවන් මත මේ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවත් හෙතෙම කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
වැටුප් වැඩි කර තිබියදී ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කර ඇති බවත්, ජනාධිපතිවරයා ප්රමුඛ කැබინට් මණ්ඩලය විසින් පත් කරනු ලබන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අමාත්‍යවරයාගේ හෝ වෘත්තීය සමිතිවල ඕනෑ එපාකම් මත එකවර ඉවත් කළ නොහැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය. රාජ්‍ය සේවයේ පවතින රෙගුලාසි හා පිළිවෙළ හොඳින් දැනගෙන සිටියද වෘත්තීය සමිති නායකයන් දිගින් දිගටම මෙලෙස කටයුතු කිරීම කණගාටුදායක බවත්, මගී ජනතාවට වඩා හොඳ සේවාවක් ලබාදීමට රජය කටයුතු කරන මොහොතක ඊට සහභාගී නොවී සිටින වෘත්තීය සමිති වෙත ස්තූතිය පුද කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.













