හම්බන්තොට දිස්ත්රික්කයේ සෞඛ්ය සේවා පුළුල් කිරීමේ අරමුණින් තංගල්ල මූලික රෝහලේ මහල් නවයකින් සමන්විත ශල්ය වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 3.09කි.
සෞඛ්ය අමාත්යාංශය සඳහන් කරන්නේ මෙම ව්යාපෘතියේ ඉදිකිරීම් 2026 වසර අවසානය වනවිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි. අදියර හතරක් යටතේ ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
සෞඛ්ය නියෝජ්ය අමාත්ය හංසක විජේමුණි මහතා පසුගිය 14 වැනිදා තංගල්ල මූලික රෝහලේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකදී මෙම සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කර තිබේ.
රෝහලේ ඉඩකඩ සීමාවන්ට විසඳුම් ලබාදීම සහ රෝගී සත්කාර සේවා වැඩිදියුණු කිරීම සඳහා මහල් පහකින් යුත් වෛද්ය වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම පිළිබඳවද එහිදී අවධානය යොමු වී ඇත. ඊට අමතරව, රෝහලට සීටී ස්කෑන් යන්ත්රයක් ඇතුළු නවීන වෛද්ය උපකරණ ලබාදීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
ඇඳන් 339ක ධාරිතාවක් සහිත තංගල්ල මූලික රෝහල හම්බන්තොට දිස්ත්රික්කයේ ප්රධාන රජයේ සෞඛ්ය සේවා ආයතනයකි. රෝහලේ කාර්ය මණ්ඩල හිඟය, ගිලන් රථ පහසුකම් සහ දෛනික සේවා පවත්වාගෙන යාමට අවශ්ය අනෙකුත් සම්පත් පිළිබඳවද නියෝජ්ය අමාත්යවරයාගේ අවධානය යොමු වී තිබේ.
අදාළ සංවර්ධන ව්යාපෘති පළාත් සභාව සමඟ සම්බන්ධීකරණයෙන් මධ්යම රජයේ මූල්ය සහාය ඇතිව ක්රියාත්මක කරන බව නියෝජ්ය අමාත්යවරයා සඳහන් කර ඇත.
















