27 April 2024
#දේශීය

නාථගනේ පුරාවිද්‍යාත්මක ප්‍රදේශය සංරක්ෂණය කෙරේ

නාථගනේ ස්තූපය හා පුරාවිද්‍යාත්මක නටබුන් සහිත ප්‍රදේශයේ කැනීම් කටයුතු මේවන විට සිදු කර අවසන් බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඒ අනුව මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය ඉදිරි පරම්පරාවන් වෙත ද දායාද කිරීමට ආරක්ෂා කරන ලෙස ජනතාවගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

වෙසක් උළෙලට සමගාමීව මෙම පුරාවිද්‍යාත්මක ස්ථාන ජනතාව වෙත වැඳුම් පිඳුම් කිරීමට කඩිනමින් කැණීම් කටයුතු අවසන් කළ බව ද ස්ථානය පිළිබඳව නිරීක්ෂණය කිරීමට පැමිණි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

කුරුණැගල සිට පුත්තලම් ප්‍රධාන මාර්ගයේ 9 Km ක් පමණ දුර ගමන් කර හමුවන මහකෙළිය මංසන්දියෙන් වමට හැරී 02 Km ක් පමණ ගමන් කළ විට වල්පොල හමුවේ. එයින් ද වමට හැරී 01 Km ක් දුර ගමන් කර නාථගනේ පුරාණ විහාරය ආශ්‍රිත නටබුන් පරිශ්‍රයට ලඟා විය හැකිය.

ජනප්‍රවාදයට අනුව නාථගනේ කන්ද ආශ්‍රිතව පිහිටා ඇත්තේ මුණ්ඩකොණ්ඩපොල රාජධානියයි. එසේම මෙම ශේෂ කන්ද ආශ්‍රිතව කටාරම් සහිත ගල් ගුහා රාශියක් සහ මෙම ගුහා ආශ්‍රිතව අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් මූල බ්‍රාහ්මීය ලිපි හතරක් ද සොයාගෙන තිබේ.

කන්ද පාමුල අනුරාධපුර යුගයේ අවසාන භාගයට අයත් ගඩොළුමය ස්තූපයක්, පොකුණක් සහ ගල් කණු සහිත ගඩොළුමය ස්මාර්කයන් හි නෂ්ටාවශේෂයන් දක්නට ලැබෙන අතර මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මෙම පුරාවිද්‍යා පරිශ්‍රයේ ඇති ස්තූපය කැනීම් කර සංරක්‍ෂණය කෙරිණි.

මෙම අවස්ථාවට ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමීණි රණසිංහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මිහු සහ නිලධාරිහු පිරිසක් එක්වුහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *