27 April 2024
#දේශීය

බෙදුම්වාදයට හිස එසවීමට කිදු ඉඩක් නෑ – ආරක්ෂක ලේකම්

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර තිබෙන අතර බෙදුම්වාදයට හිස එසවීමට කිසිඳු ඉඩක් නැති බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

ලේකම්වරයා මේ බව පැවසුවේ “ගත වූ දෙවසර තුළ ත්‍රිවිධ හමුදාවේ ක්‍රියාකාරීත්වය” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය අද (15) පෙරවරුවේ සංවිධානය කළ මාධ්‍ය හමුවේදීය.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම ජාතිය ගොඩනැගීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව පසුගිය දෙවසර තුළ පුළුල් පරාසයක විශාල කාර්යභාරයක් ඉටු කළ බව ආරක්ෂක ලේකම්වරයා පැවසිය.

අද රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර තිබෙන අතර බෙදුම්වාදයට හිස එසවීමට කිසිඳු ඉඩක් නැති බව අවධාරණය කළ ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලාංකිකයන් කිසිවෙකු අනියත බියක් ඇතිකරගත යුතු නැති බව පැවසීය. රාජ්‍ය බුද්ධි අංශය සහ සෙසු බුද්ධි අංශ අද එකම ශක්තිමත් ජාලයක් ලෙස ක්‍රියාත්මක වන බව ද කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.

රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් දිනා දුන් නිදහස සහ රටේ ජාතික ආරක්ෂාව පාස්කු ප්‍රහාරය සමග උඩුයටිකුරු විය. පසුගිය පාලන සමයේ එම පරීක්ෂණ විධිමත්ව සිදු නොවූ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා පීඩාවට පත් වූ අහිංසක පවුල්වලට සාධාරණය ඉටු කිරීමට අධිකරණ පද්ධතියට අවශ්‍ය සියලු සහාය ලබා දෙන බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

මිල්ටරීකරණයකට රට ගෙන යනවාද යන්න පිළිබඳ වූ පැනයට පිළිතුරු දුන් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා, විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ආණ්ඩුවේ තනතුරු දැරීම කිසිසේත් මිල්ටරීකරණයක් නොවන අතර විශ්‍රාම ලැබූ හමුදා නිලධාරියෙකු වසර ගණනාවක තම දැනුම සහ අත්දැකීම් භාවිත කර රටට සහ ජනතාවට සේවය කිරීම වරදක් වන්නේ කෙසේ දැයි විමසා සිටියේය.

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම ජාතිය ගොඩනැගීමට අවශ්‍ය පියවර ගැනීම ද ත්‍රිවිධ හමුදාවේ වගකීමකි. යුද, නාවික සහ ගුවන් හමුදාව ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *