ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) මහලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වෙමින්, දිල්ලි මහ ඇමැතිනිය වන රේඛා ගුප්තා මහත්මිය හමුවී තිබේ. දිල්ලි අගනුවරදී පැවති මෙම හමුව සඳහා දිල්ලි අධ්‍යාපන අමාත්‍ය ආෂිෂ් සූද් ද එක්ව ඇත.
මෙම සාකච්ඡාවේදී පරිසර හිතකාමී ප්‍රවාහන සේවා යටතේ විද්‍යුත් බස් රථ (Electric buses) ව්‍යාපෘති, විද්‍යුත් වාහන ප්‍රවර්ධනය සහ ආරෝපණ මධ්‍යස්ථාන පුළුල් කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබේ. මීට අමතරව කාන්තා සුබසාධනය, ආර්ථික සවිබල ගැන්වීම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන්ද දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගත්හ.
ශ්‍රී ලංකාවේ පවතින සමාජ හා ආර්ථික වෙනස්කම් සහ ජීවන තත්ත්වය නංවාලීමේ සුබසාධන වැඩසටහන් මෙහිදී ටිල්වින් සිල්වා විසින් පැහැදිලි කර ඇති අතර, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩසටහන යටතේ පරිසර පවිත්‍රතාවය සහ ජනතාවගේ ආකල්ප සංවර්ධනය කිරීම පිළිබඳවද කරුණු සාකච්ඡා කර ඇත.
















