උතුරු කොරියානු තොරතුරු තාක්ෂණ සේවකයන්ට ඇමරිකානු සමාගම්වල ව්යාජ රැකියා ලබාගැනීමට සහාය වූ බවට චෝදනා එල්ල වී ඇති ඇමරිකානුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලැප්ටොප් පරිගණක ඇතුළු ඉලෙක්ට්රොනික උපාංග 187ක් පමණ ද අත්අඩංගුවට ගෙන ඇති බව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, පෙන්සිල්වේනියා ප්රාන්තයේ මයිකල් ජේම්ස් බොස්ටෙල් සහ ටෙක්සාස් ප්රාන්තයේ ජුවාන් සෙසීලියෝ පේනා කරිලෝ යන පුද්ගලයන්ට විදුලි සන්නිවේදන වංචා, මුදල් විශුද්ධිකරණය සහ අනන්යතා සොරකම් කිරීම සම්බන්ධ චෝදනා එල්ල වී තිබේ.
FBI ආයතනය සැප්තැම්බර් 21 සිට 25 දක්වා කාලය තුළ ටෙක්සාස්හි නිවාස 40කට වැඩි සංඛ්යාවක සෝදිසි කිරීම් සිදුකර ඇත. එම නිවාස ඇතැම් උතුරු කොරියානු තොරතුරු තාක්ෂණ සේවකයන්ගේ ව්යාජ රැකියා මෙහෙයුම් සඳහා භාවිත කළ “ලැප්ටොප් ගොවිපළ” ලෙස සැක කෙරෙන ස්ථාන බව බලධාරීහු සඳහන් කරති.
අධිකරණයට ඉදිරිපත් කළ අධිචෝදනා පත්රයට අනුව, චීනයේ සිට ක්රියාත්මක වූ බව කියන පුද්ගලයන් පිරිසක් මෙම මෙහෙයුම මෙහෙයවා ඇති බවට චෝදනා එල්ල වී තිබේ. ඇමරිකානුවන්ගේ නම් සහ පෞද්ගලික තොරතුරු භාවිත කරමින්, උතුරු කොරියානු සේවකයන් ඇමරිකාව තුළ සිට නීත්යනුකූලව රැකියාව කරන බව පෙන්වීමට ඔවුන්ගේ නිවාසවල සමාගම්වලට අයත් පරිගණක තබාගෙන සිටි බවට ද චෝදනා කර ඇත.
මෙම වංචා මෙහෙයුමෙන් ඇමරිකානු සමාගම් 70කට වැඩි සංඛ්යාවකට බලපෑම් එල්ල වී ඇති අතර, ඇමරිකානුවන් 25 දෙනෙකුගේ අනන්යතා අවභාවිත කර ඇති බවත්, විදේශගත තොරතුරු තාක්ෂණ සේවකයන්ට අවම වශයෙන් ඩොලර් මිලියන 3ක ආදායමක් උපයා දී ඇති බවත් අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි.
















