විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා අසර්බයිජානයේ බාකු නුවර සිදු කළ දෙදින නිල සංචාරය අවසන් කර තිබේ.
ආසියාවේ අන්තර්ක්රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්රියාමාර්ග පිළිබඳ සමුළුවේ (CICA) හත්වැනි සමුළුවට ශ්රී ලංකා නියෝජිත පිරිස මෙහෙයවමින් අමාත්යවරයා මෙම සංචාරයට එක්ව තිබුණි. ඔක්තෝබර් 15 වැනිදා පැවති සමුළුවේදී කලාපීය සම්බන්ධතා, ඩිජිටල්කරණය සහ තිරසර සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කර තිබේ.
එහිදී ආර්ථික ඒකාබද්ධතාව ශක්තිමත් කිරීම සඳහා රටවල් අතර සම්බන්ධතා වැඩිදියුණු කිරීම, ඩිජිටල් පරිවර්තනය සහ සහයෝගීතාවයේ වැදගත්කම විජිත හේරත් මහතා අවධාරණය කර ඇත.
සමුළුව අවසානයේ බාකු ප්රකාශනය සම්මත කරගැනීම, ලාඕසය පූර්ණ සාමාජිකත්වයට ඇතුළත් කරගැනීම, 2026–2028 කාලසීමාව සඳහා අසර්බයිජානයේ සභාපතිත්වය දීර්ඝ කිරීම සහ CICA මහලේකම්වරයා ලෙස සුල්තාන් හාජියෙව් පත් කිරීම සිදු කර තිබේ.
සංචාරය අතරතුර අමාත්යවරයා අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියෙව් මහතා ද හමුවී ඇති අතර, අසර්බයිජානය, බහරේනය, තජිකිස්තානය, තුර්කිය සහ පලස්තීනය යන රටවල නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ. වෙළෙඳාම, සංචාරක කර්මාන්තය, කෘෂිකර්මාන්තය සහ බලශක්ති සුරක්ෂිතතාව එම සාකච්ඡාවල ප්රධාන මාතෘකා වී ඇත.
මීට අමතරව අසර්බයිජානයේ බලශක්ති සමාගමක් වන SOCAR සමඟ පැවති ඉහළ පෙළේ ව්යාපාරික හමුවකට ද අමාත්යවරයා සහභාගී වී තිබේ.
මෙම සංචාරය හරහා CICA සාමාජික රටවල් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, කලාපීය ආර්ථික සබඳතා පුළුල් කිරීමටත් ශ්රී ලංකාවේ කැපවීම යළි තහවුරු වූ බව විදේශ කටයුතු අමාත්යාංශය සඳහන් කරයි.














