27 April 2024
#දේශීය

ගෝලීය ව්‍යසනය පරදා ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරදීමේ අභියෝගය ජයගනිමින් සිටිනවා -සෞඛ්‍ය ඇමති

ත්‍රස්තවාදී උවදුර පරාජය කර රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරදුන් අයුරින් ගෝලීය ව්‍යසනය පරදා ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරදීමේ අභියෝගය මේ වන විට ජයගනිමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කර අදට වසරක් සපිරීම නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (29) පැවති ජාතික වැඩසටහනට එක්වෙමිනි.

එදා ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභියෝගය භාරගත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආභාෂය ලැබූ වත්මන් ජනාධිපතිවරයා කොවිඩ් ව්‍යසනය පැරදීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් සිටින බව අමාත්‍යවරයා පැවසිය.

යුද්ධයේ අවසන් දින කිහිපය තුළදී පවා මෙරටට පැමිණි ඇතැම් විදෙස් නායකයින් එය පරාජය කළ නොහැකි බැව් කීවද එය පරාජය කිරීමට හැකි වූ බවත් , එම ජයග්‍රහණයේ ප්‍රබල සාධකයක් වූ වත්මන් ජනාධිපතිවරයාට එම ආභාෂය තුළ මෙම ව්‍යසනය පරාජය කිරීමට මහත් ශක්තියක් හා ආත්ම විශ්වාසයක් පවතින බව අමාත්‍යවරයා පැවසිය.

ජනාධිපතිතුමන් කොවිඩ් පාලනයට මෙන්ම එන්නත්කරණයට දැක්වූ ඉහළ උනන්දුව මෙන්ම ඒ තුළ තිබූ දැඩි ආත්ම විශ්වාසය රටෙහි කොවිඩ් පාලනයට මෙන්ම එන්නත්කරණයට ප්‍රබලතම සාධකය වූ බව අමාත්‍ය රඹුක්වැල්ල මහතා කියා සිටියේය.

ව්‍යසනය තුළ එන්නත්කරණය ප්‍රමුඛතම විසඳුම ලෙසින් ඉදිරියට ගෙන ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට ජනාධිපතිතුමන් ගනු ලැබූ දූරදර්ශී තීරණය නොවන්නට රට වෙනස් තත්ත්වයකට පත්වන්නට තිබුණේ යැයිද අමාත්‍යවරයා මෙහිදී පැවසිය.

එදා ඇතැමුන් දේශපාලන වේදිකාවේ මෙය අධෛර්යමත් කිරීමට ගෙනගිය වැඩපිළිවෙලට ජනාධිපතිතුමන් නිහඬව පිළිතුරු ලබා දෙමින් රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරදුන් බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, හිටපු සෞඛ්‍ය අමාත්‍ය , ප්‍රවාහන අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි , රාජ්‍ය අමාත්‍යවරුන් වන විශ්ෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, මහාචාර්ය චන්න ජයසුමන, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ , ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, ජපන් තානාපති මිසුකොෂි හිදෙකි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං,හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *