හන්තා වෛරසය (Hantavirus) ව්‍යාප්ත වීම හේතුවෙන් දැඩි කතාබහට ලක්වූ ‘MV Hondius’ නෞකාව ස්පාඤ්ඤයට අයත් ටෙනරීෆ් දූපතේ ග්‍රෙනඩිලා වරායට පැමිණීමට නියමිතව ඇති අතර, ඒ පිළිබඳව ප්‍රදේශවාසීන් තුළ පවතින බිය දුරු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ගෙබ්‍රෙයෙසුස් මහතා පියවර ගෙන තිබේ. නෞකාව අද (10) අලුයම වරායට ළඟා වීමට නියමිතව ඇති පසුබිමක විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු අවධාරණය කළේ, මෙය කොවිඩ් වසංගතය වැනි තත්ත්වයක් නොවන බවත් ජනතාවට ඉන් වැළඳීමේ අවදානම ඉතා අඩු මට්ටමක පවතින බවත්ය. දැනට නෞකාව තුළ කිසිදු රෝග ලක්ෂණ සහිත මගියෙකු නොමැති බව ද එහි සිටින විශේෂඥයින් තහවුරු කර ඇත.
දකුණු ඇමෙරිකාවේ සිට යාත්‍රා කරමින් තිබියදී මෙම නෞකාව තුළ රෝගීන් හය දෙනෙකු වාර්තා වූ අතර ඉන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මීයන්ගෙන් බෝවන මෙම වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවිය හැකි ‘ඇන්ඩීස්’ (Andes) ප්‍රභේදය විය හැකි බවට සැක කෙරේ. කෙසේ වෙතත්, නෞකාව දූපතට පැමිණීමට එරෙහිව ප්‍රාදේශීය දේශපාලන කණ්ඩායම් සහ වැසියන් විරෝධතා පවත්වමින් සිටින අතර, ස්පාඤ්ඤ අගමැතිවරයා ගත් මෙම තීරණය මානුෂීය යුතුකමක් ඉටු කිරීමක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී පැසසුමට ලක් කළේය.
නෞකාව වරායට පැමිණීමෙන් පසු කිසිදු මගියෙකුට ගොඩබිමට පැමිණීමට අවසර නොලැබෙන අතර ඔවුන් කුඩා යාත්‍රා මගින් සෘජුවම ගුවන් තොටුපළ වෙත ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇත. මගීන් ඔවුන්ගේ මව් රටවල් වන බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, ප්‍රංශය සහ ජර්මනිය වැනි රටවල් වෙත විශේෂ ගුවන් යානා මගින් පිටත් කර හැරීමට නියමිතය. මෙම සම්පූර්ණ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ද ටෙනරීෆ් වෙත පැමිණ සිටීම විශේෂත්වයකි. මගීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන බව බලධාරීන් පවසති.














