චීන ජනාධිපති ෂී ජින්පින් වසර 10කට පසුව ඊජිප්තුවට ගොස් තිබෙනවා. ඉරාන යුද්ධයෙන් පසු මැදපෙරදිග රටවල් සිය ආරක්ෂක සහ ආර්ථික සබඳතා යළි සලකා බලමින් සිටින පසුබිමක මෙම සංචාරය සිදුවීම විශේෂ අවධානයට ලක්ව ඇති අතර, ඉරාන යුද්ධය හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළට බලපෑම් එල්ල වී ඇති බවත්, අමෙරිකාව දිගුකාලීන ආරක්ෂක හවුල්කරුවෙකු ලෙස තවදුරටත් විශ්වාස කළ හැකිද යන්න පිළිබඳව කලාපීය රටවල් අතර ප්‍රශ්න මතුව ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කයිරෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසි විසින් චීන ජනාධිපතිවරයා පිළිගෙන ඇති අතර, නිල පිළිගැනීමේ උත්සවය සඳහා හමුදා භටයින්, ජන නැටුම් කණ්ඩායම් සහ චීන ධජ රැගත් ඊජිප්තු ජනතාව එක්ව සිටි බව වාර්තා වේ. මෙය ෂී ජින්පින්ගේ මෙම වසරේ දෙවැනි විදෙස් සංචාරයේ දෙවැනි අදියර වන අතර, මීට පෙර ඔහු කිර්ගිස්තානයේ පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවකට සහභාගී වී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු රාජ්‍ය නායකයින් සමගද සාකච්ඡා කර තිබේ. අධිරාජ්‍යවාදයට සහ යටත්විජිතවාදයට එරෙහිව චීනය සහ ඊජිප්තුව “එකිනෙකා සමග සිටින සමීප සහෝදරයන්” බව ෂින්හුවා පුවත් ඒජන්සිය වෙත අදහස් දක්වමින් ෂී ජින්පින් පවසා ඇති අතර, දෙරට අතර හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කර ගැනීමට අපේක්ෂා කරන බවද හෙතෙම ප්‍රකාශ කර ඇත.














