ලොව විශාලතම ස්වෛරී ධන අරමුදල හිමි නෝර්වේ රාජ්‍යය, ඉරාන යුද්ධයෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට සහන සැලසීම සඳහා එම අරමුදලෙන් කොටසක් වැය කළ යුතු බව නෝර්වේජියානු සරණාගත කවුන්සිලයේ (NRC) ප්‍රධානී ජෑන් එගෙලන්ඩ් මහතා අද (24) ප්‍රකාශ කළේය. මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම නිසා නෝර්වේ රාජ්‍යය ලබා ඇති අතිරික්ත ලාභය මෙලෙස මානුෂීය කටයුතු සඳහා යොදාගන්නා ලෙස ඔහු යෝජනා කරයි.
බටහිර යුරෝපයේ විශාලතම බොරතෙල් නිෂ්පාදකයා වන නෝර්වේ රාජ්‍යය, මීට පෙර යුක්රේන ආක්‍රමණයේදී ද සිය අරමුදල හරහා එරටට දැවැන්ත ආධාර පැකේජයක් ලබාදීමට කටයුතු කළේය. ඩොලර් ට්‍රිලියන 2.2ක් වටිනා මෙම ස්වෛරී ධන අරමුදල හරහා ඉරාන යුද පීඩිතයන්ට සහය වීම, වර්තමාන ගෝලීය අර්බුදයේදී නෝර්වේ රාජ්‍යයට ඉටු කළ හැකි සුවිශේෂී මෙහෙවරක් බව එගෙලන්ඩ් මහතා අවධාරණය කරයි. කෙසේ වෙතත්, යුද්ධය හේතුවෙන් වෙළඳපොළවල් අස්ථාවර වීම නිසා අරමුදලට යම් මූල්‍යමය පාඩු සිදුව ඇති බව රජයේ පාර්ශවයන් පෙන්වා දී තිබේ.













