අම්පාර, අඩ්ඩාලයිචේනයි ගුරු විද්යාලයේ කථිකාචාර්යවරයෙකු කාන්තා ගුරු සිසුවියන්ට අසභ්ය වීඩියෝ දර්ශන පෙන්වමින් ලිංගික හිරිහැර සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අම්පාර කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශය මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ විෂයයන් සඳහා ලකුණු අඩු කිරීම හෝ අධීක්ෂණය යටතේ පවතින කටයුතුවලදී පළිගැනීම්වලට ලක්වනු ඇතැයි බියෙන් ගුරු සිසුවියන් පැමිණිලි කිරීමට ඉදිරිපත් වී නොමැති බවයි. ඒ අනුව අදාළ සිසුවියන්ගෙන් ප්රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී. සැකකරු සම්බන්ධයෙන් අධිකරණ ක්රියාමාර්ග සිදුවන බැවින්, ඔහුට එරෙහි චෝදනා තවමත් අධිකරණයෙන් තහවුරු වූ කරුණු ලෙස සැලකිය නොහැක.
















