බ්රිතාන්යයේ ඩීසල් ලීටරයක සාමාන්ය මිල ඉතිහාසයේ පළමු වරට පවුම් 2 සීමාව ඉක්මවා ගොස් තිබේ. RAC නිල දත්ත අනුව ඔක්තෝබර් 2 වැනිදා ඩීසල් ලීටරයක සාමාන්ය මිල පෙන්ස් 200.01ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය නව වාර්තාගත ඉහළම අගයයි.
එදින පෙට්රල් ලීටරයක සාමාන්ය මිලද පෙන්ස් 174.71ක් දක්වා ඉහළ ගොස් තිබේ. RAC පවසන්නේ පෙට්රල් සහ ඩීසල් මිල ඉහළ යාම තවදුරටත් පාරිභෝගිකයන්ට පීඩනයක් එල්ල කරමින් පවතින බවයි. සාමාන්ය පවුලේ මෝටර් රථයක ලීටර් 55ක ඩීසල් ටැංකියක් පිරවීම සඳහා මේ වනවිට පවුම් 110.01ක් පමණ වැය වන බවද RAC සඳහන් කරයි.
වර්තමාන විනිමය අනුපාතය අනුව පවුම් 2ක් ශ්රී ලංකා මුදලින් දළ වශයෙන් රුපියල් 876ක් පමණ වේ. මැදපෙරදිග ගැටුම් සහ ගෝලීය ඉන්ධන සැපයුම්වල ඇති වූ බලපෑම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
















