රටේ ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින්, බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ තෙවන අදියර යටතේ කිරුළපන මංසන්ධියේ සිට කොළඹ – හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා වන මාර්ග කොටස වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙම ව්‍යාපෘතිය මඟින් නාගරික ප්‍රදේශවල පවතින රථවාහන තදබදයට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ, කිලෝමීටර 0.86ක ප්‍රදේශයක් මංතීරු හයකින් යුතුව සංවර්ධනය කිරීමට නියමිත අතර, මාර්ගය යටින් දිවෙන මාර්ගයක්, නවීන සංඥා පද්ධති සහිත මංසන්ධි, මගී පදික පහසුකම් මෙන්ම ජලාපවාහන පද්ධති ද අන්තර්ගත කර ඇත. ජාතික තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටු නිර්දේශ මත පදනම්ව අවම ලංසුකරු වන මාගා ඉංජිනේරින් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත රුපියල් බිලියන 2.89ක (බදු රහිත) මුදලකට මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත.
ඉදිරියේදී මෙම මාර්ග කොටස නිම වීමත් සමඟ කිරුළපන සහ අවට ප්‍රදේශවල දෛනික ගමනාගමන කටයුතු වඩාත් කාර්යක්ෂම වන අතරම, මගීන්ට මෙන්ම රියැදුරන්ට මුහුණ දීමට සිදුවන ප්‍රවාහන දුෂ්කරතා රැසකට සාර්ථක විසඳුම් ලැබෙනු ඇත.
















