ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කරන ලද ප්‍රථම විදේශ සංචිත කළමනාකරණ සමුළුව 2026 සැප්තැම්බර් 10 සහ 11 යන දෙදින තුළ කොළඹ කිංස්බරි හෝටලයේ දී සාර්ථකව පැවැත්විණි. ප්රමුඛ පෙළේ මහ බැංකු නියෝජිතයින්, ස්වෛරීත්ව වත්කම් කළමනාකරුවන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ආර්ථික විද්‍යාඥයින් සහ ආයෝජන ක්ෂේත්රයේ වෘත්තිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සමුළුවේ දී නිල විදේශ සංචිත කළමනාකරණය සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් මුහුණ දීමට සිදුවන අභියෝග සහ අවස්ථා පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කර ඇත.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ ඉන්දියානු සංචිත බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන රැසක් නියෝජනය කරමින් විශේෂඥයින් 50 දෙනෙකු පමණ මෙම අවස්ථාවට එක්වී සිටියහ. මෙහිදී විදේශ සංචිත ස්වාරක්ෂක ගොඩනැගීම, භූ දේශපාලනික බලපෑම්, ඩිජිටල් සහ ටෝකනීකරණය කළ වත්කම්වල කාර්යභාරය, ජාත්‍යන්තර සංචිත කළඹ තුළ එ.ජ. ඩොලරයේ ආධිපත්‍යය මෙන්ම රන් සහ අනෙකුත් විකල්ප වත්කම් සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡාවට ලක්විය. තවද, ආයෝජන තීරණ ගැනීම සහ අවදානම් කළමනාකරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා තාක්ෂණික නවෝත්පාදන සහ කෘත්‍රිම බුද්ධිය (AI) සංචිත කළමනාකරණයට යොදාගත හැකි ආකාරය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබේ.














