“මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන තේමාව පෙරදැරි කරගනිමින් 2026 ලෝක ළමා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ. වේගයෙන් සිදුවන සමාජීය හා තාක්ෂණික වෙනස්කම් හමුවේ ළමා කාලය දැවැන්ත පරිවර්තනයකට ලක්වෙමින් පවතින බවත්, දරුවන්ගේ පූර්ණ සංවර්ධනය සඳහා අධ්‍යාපනය, සෞඛ්‍යය මෙන්ම සුරක්ෂිතභාවය අත්‍යවශ්‍ය වන බවත් ඇය පෙන්වා දෙයි.
ඩිජිටල් තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය හරහා දරුවන්ට අසීමිත අවස්ථා උදා වී තිබුණද, සයිබර් අවකාශය තුළ මතුවන හිරිහැර සහ හිංසන වැනි තර්ජනවලින් දරුවන් ආරක්ෂා කිරීම සඳහා සුදුසු ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින බව අගමැතිවරිය සඳහන් කරයි. එසේම, ශාරීරික දඬුවම්වලට එරෙහි නීතිමය රාමුව ශක්තිමත් කිරීමටත්, දරුවන් ආර්ථික සූරාකෑම්වලින් ආරක්ෂා කිරීම සඳහා ‘කාන්තාවන්, තරුණ පුද්ගලයන් සහ ළමුන් සේවයේ යෙදවීමේ පනත’ සංශෝධනය කර වැරදි සඳහා පනවන ලද දඩ මුදල් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවත් ඇය පෙන්වා දෙයි.
කිසිදු වෙනස්කමකින් තොරව ශ්‍රී ලංකාවේ සෑම දරුවෙකුටම ආරක්ෂිතව හා ආත්මවිශ්වාසයෙන් යුතුව ගොඩනැඟීමට සමාන අවස්ථා හිමි විය යුතු අතර, දරුවන්ට සවන් දෙමින් ඔවුන්ගේ මනස සවිමත් කිරීම යනු රටේ අනාගතය ශක්තිමත් කිරීමක් බව අගමැතිවරිය සිය ලෝක ළමා දින පණිවුඩයෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
















