හැටන් සිට බගවන්තලාව බලා ධාවනය වූ ලංගම බස් රථයක මගියෙකු විසින් ජනේලයෙන් ඉවතට විසි කළ පොලිතින් බෑගයක්, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් ලංගම බස් රථයක ඉදිරිපස වීදුරුවේ වැදීමෙන් හානියක් සිදුව තිබේ.
හැටන් ලංගම ඩිපෝවේ කළමනාකාර පාලිත වීරසූරිය සඳහන් කර ඇත්තේ, බස් රථයේ ගමන් කළ දරුවෙකු වමනය කිරීමෙන් අනතුරුව එය පොලිතින් බෑගයකට දමා දරුවාගේ පියා විසින් නෝර්වුඩ් ප්‍රදේශයේදී බස් රථයේ ජනේලයෙන් ඉවතට විසි කර ඇති බවයි. එම බෑගය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයේ ඉදිරිපස වීදුරුවේ වැදී මෙම හානිය සිදුව ඇති බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට සූදානම් වූ අවස්ථාවේදී අදාළ මගියා සිය වරද පිළිගෙන ඩිපෝව වෙත පැමිණ රුපියල් 18,000ක මුදලක් ගෙවා සිද්ධිය සමථයකට පත් කරගෙන ඇති බව ඩිපෝ කළමනාකාරවරයා පැවසීය. බස් රථවලින් කිසිදු ද්‍රව්‍යයක් මාර්ගයට නොදමන ලෙස මගීන්ගෙන් ඉල්ලා තිබුණද, එවැනි ක්‍රියා හේතුවෙන් අනතුරුදායක තත්ත්වයන් ඇතිවිය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















