27 April 2024
#දේශීය

INSEE සිමෙන්ති සිය වාර්ෂික සෞඛ්‍ය කඳවුර මෙවර අරුවක්කාලු හි දී සාර්ථකව පවත්වයි

INSEE සිමෙන්ති සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කඳවුර මෙවර අරුවක්කාලු ප්‍රදේශයේ සහ ඒ අවට ජීවත් වන අඩු පහසුකම් සහිත ජනතාව වෙනුවෙන් පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා මහනුවර ජාතික රෝහලේ සේවය කරන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු, නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු, සාමාන්‍ය වෛද්‍යවරයකු, ස්නායු රෝගවිශේෂඥ වෛද්‍යවරයකු, උගුර/ කන/ නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු සහ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු ඇතුළු වෛද්‍යවරුන් 11 දෙනෙකු ස්වේච්ඡාවෙන් සහභාගි වූ අතර, ඔවුන්ට අමතරව දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සහ කාර්මික ශිල්පීන්ගේ සහයෝගයෙන් හා සහභාගිත්වයෙන් දන්ත සායනයක් ද පැවැත්විණි. මෙම සෞඛ්‍ය කඳවුරට පුත්තලම, අරුවක්කාලු සහ ඒ අවට ප්‍රදේශවල ගම්වාසීහු 300 කට අධික පිරිසක් සහභාගි වී ප්‍රතිලාභ ලබාගත් හ. මෙහි සියලු ම ඖෂධ, වෛද්‍ය පරීක්ෂණ සහ අනෙකුත් පහසුකම් සඳහා INSEE සිමෙන්ති සමාගම විසින් පූර්ණ මූල්‍ය අනුග්‍රහය ලබා දෙන ලදී.

මෙම සුවිශේෂී ප්‍රජා සත්කාරය පිළිබඳව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ නිෂ්පාදන අධ්‍යක්ෂ සෙරෙෆින් බුගේජා මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසකි. “අප සමාගමේ පාර්ශවකරුවන් සහ ජනතාව අතර සබඳතාව වර්ධනය කිරීම, 2030 වසර වන විට සපුරාගැනීමට අපේක්ෂා කරන INSEE තිරසාර අභිලාෂයන්ගෙන් ප්‍රධානතම එකක්. ඒ අනුව INSEE සිමෙන්ති සමාගම විවිධ සමාජ ශුභසාධන ව්‍යාපෘති හරහා පුත්තලම සහ ගාල්ල යන ප්‍රදේශවල පිහිටා තිබෙන අපගේ කර්මාන්ත ශාලා දෙක අවට ජීවත් වන ජනතාව සමඟ වසර ගණනාවක් පුරා ඉතා ශක්තිමත් සබඳතාවක් ගොඩනගාගෙන තිබෙනවා.”

“අපගේ මෙම සෞඛ්‍ය කඳවුරේ සාර්ථකත්වය සහ ඒ සඳහා ලැබුණු සියලු ම ප්‍රතිචාර අපි ඉතා නිහතමානීව පිළිගන්නවා. ඒ වගේ ම අපගේ ජනතාවගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා INSEE සිමෙන්ති සමාගම ඉදිරියටත් හැකි උපරිමයෙන් ආයෝජනය කරනවා.” යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් බුගේජා මහතා පැවසුවේ ය.

බිම් මට්ටමේ සිට ජනතාව බලගැන්වීම අරමුණු කරමින් INSEE සිමෙන්ති සමාගමේ ක්‍රියාකාරී කණ්ඩායම්, ග්‍රාම නිලධාරීවරුන් සහ විවිධ ප්‍රජා නායකයින් සහභාගී කර ගනිමින් ‘ප්‍රජා උපදේශක මණ්ඩල’ ස්ථාපිත කර ඇති අතර, සෞඛ්‍ය සහ යහපැවැත්ම, අධ්‍යාපනය, පානීය ජලය, රැකියා සහ සනීපාරක්ෂාව මෙන් ම පාරිසරික සංරක්ෂණය ආදී ක්ෂේත්‍ර කෙරෙහි ද විශේෂ අවධානය යොමු කරමින් සමාජ සත්කාරක ව්‍යාපෘති හඳුනා ගැනීම සහ සංවිධානය කිරීම මෙම ප්‍රජා උපදේශක මණ්ඩල හරහා සිදු කෙරෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *