ශ්‍රී ලංකාවේ මාතෘ සහ ළදරු මරණ අවම කරමින් අනාගත පරපුරේ සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අතිශය තීරණාත්මක අභියෝගයට මුහුණ දීම සඳහා සෞඛ්‍ය අංශ අද (24) නවතම සටනක් ආරම්භ කළා. වර්තමාන සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින සේවාවන් තවදුරටත් ගුණාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාව හඳුනාගනිමින්, කළුතර ගල්ලස්ස ළමා හා මාතෘ රෝහල කේන්ද්‍ර කරගනිමින් මෙම විශේෂ වැඩපිළිවෙළ දියත් වුණා. මව්වරුන් සහ අලුත උපන් බිළිඳුන් මුහුණ දෙන අවදානම් සහගත තත්ත්වයන් කළමනාකරණය කිරීමටත්, ඔවුන්ට ලැබෙන සත්කාරයන්හි ප්‍රමිතිය ඉහළ නැංවීමටත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සන්නද්ධ කිරීම මෙහි මූලිකම පියවරයි.
“මාතෘ සහ ළදරු සෞඛ්‍ය නිපුණතා සංවර්ධන වැඩමුළු” මාලාවේ (Capacity Building Workshop) සමාරම්භක වැඩමුළුව ලෙස මෙය ක්‍රියාත්මක වන අතර, මේ සඳහා ශ්‍රී ලංකා පරිජන්ම සංගමය (Perinatal Society of Sri Lanka) ඇතුළු ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය ආයතන රැසක් අත්වැල් බැඳගෙන සිටිනවා. වෛද්‍ය නිලධාරීන්, හෙදියන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ දැනුම සහ විශේෂඥතාව නවීන වෛද්‍ය විද්‍යාත්මක ප්‍රමිතීන්ට අනුකූලව යාවත්කාලීන කිරීම මෙහිදී සිදු කෙරෙනවා. බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් රැසකගේ සහභාගීත්වයෙන් ඇරඹුණු මෙම වැඩපිළිවෙළ මගින් කළුතර දිස්ත්‍රික්කයේ මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවේ විශාල පිම්මක් සනිටුහන් කරනු ඇති බවයි වාර්තා වන්නේ.
අනාගතයේ ලොව දකින්නට පෙරුම් පුරන බිළිඳුන්ගේත්, ඔවුන්ට මෙලොවට බිහි කරන මව්වරුන්ගේත් ජීවිත අවදානම අවම කිරීම හුදෙක් සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොව එය ජාතික වගකීමකි. ප්‍රසව හා නාරිවේද විශේෂඥ උපදේශක වෛද්‍ය ශාරදා ජයලත් මහත්මියගේ සම්බන්ධීකරණයෙන් සහ මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම නිපුණතා සංවර්ධන මෙහෙයුම හරහා රෝහල් පද්ධතිය තුළ සිදුවන සත්කාරයන්හි වෘත්තීයමයභාවය තහවුරු කිරීමට අපේක්ෂිතයි. රටේ හෙට දවස තීරණය කරන මව්වරුන් සහ දරුවන් වෙනුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙලෙස අලුත් දැනුමෙන් සන්නද්ධ වීම සමස්ත රට වැසියන්ගේම මහත් අස්වැසිල්ලට හේතුවනු ඇත.













