හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධන මහතාට අත්හිටවූ සිරදඬුවමක් ලබාදීමට විනිසුරුවරයෙකු පෙළඹවීමේ අරමුණින් අල්ලස් ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ බිරිඳ ඇතුළු දෙදෙනෙකු ලබන 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය ලබාදී ඇත.
මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි සහ කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහායකයෙකු වන චරිත් නමැත්තාය.
සිද්ධියේ තුන්වැනි සැකකරු වන මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයේ රෙජිස්ට්රාර්වරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ද අධිකරණය නියෝග කර තිබේ.














