මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම පිළිබඳ කාර්යසාධක බලකායේ නිරීක්ෂණ මත පදනම්ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් යෝජනා කරන ලද සංශෝධන ඇතුළත් කරමින් 1917 අංක 9 දරන භාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති මෙම පනත් කෙටුම්පත සඳහා මේ වන විට නීතිපතිගේ නිෂ්කාශනයද ලැබී ඇත.
මෙම ව්‍යවස්ථාපිත සංශෝධනය හරහා මූල්‍ය අපරාධ සහ නීතිවිරෝධී අරමුදල් හුවමාරු වැළැක්වීම සඳහා පවතින නීතිමය රාමුව වඩාත් විධිමත් හා ශක්තිමත් වන අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව රටේ මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමට මඟ සැලසේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර, ගැසට් කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා එය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉදිරියේදී මෙම පනත් කෙටුම්පත නීතියක් ලෙස සම්මත වීමත් සමඟ මෙරට භාර (Trust) පාලන තන්ත්‍රය තුළ පවතින යම් යම් හිඩැස් වැසී යන අතරම, මූල්‍ය විනිවිදභාවය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය තවත් අතිශයින් සවිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















