දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම වේගයෙන් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කරන අතර මෝසම් වර්ෂාවත් සමඟ රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යා හැකි බැවින් ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කර සිටී. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අද (12) පැවති මාධ්‍ය හමුවේදී හෙළි වූ පරිදි මේ වසරේ ඊයේ (11) දින වන විට ඩෙංගු රෝගීන් 27,754ක් සහ මරණ 14ක් වාර්තා වී ඇති අතර මුළු රෝගීන්ගෙන් 50%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල වැඩි ව්‍යාප්තියක් පවතී.
නිවෙස්වලට වඩා පාසල්, ආගමික ස්ථාන, වැඩබිම් සහ කාර්යාල පරිශ්‍රවල මදුරුවන් බෝවීම ඉහළ මට්ටමක පවතින බව නිරීක්ෂණය වී ඇති අතර 2016 වසරේදී තුරන් කළ බවට සහතික ලැබුණද 2025 වසරේදී බරවා රෝගීන් 68ක් වාර්තා වී තිබේ. එසේම විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයන් හරහා මැලේරියා රෝගය නැවත මෙරටට ඇතුළු වීමේ අවදානමක් පවතින බව ද මෙහිදී ප්‍රකාශ වූ අතර තද උණ සමඟ ඇඟපත වේදනාව, හිසරදය, වමනය හෝ සමේ රතු ලප හටගන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසත් අවට පරිසරය පිරිසිදුව තබා ගනිමින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට සහාය වන ලෙසත් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.















