ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඉන්දු-පැසිෆික් කලාපීය සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද කොළඹදී සාර්ථකව පවත්වන ලදී. විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහ ඉන්දු-පැසිෆික් කලාපය සඳහා වූ යුරෝපා සංගම් විශේෂ නියෝජිත මාරියා කැස්ටිලෝ මහත්මිය අතර පැවැති මෙම හමුවේදී ඉන්දියානු සාගර කලාපය තුළ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු විය. විශේෂයෙන්ම ගෝලීය වෙළඳාම, සමුද්‍රීය ආරක්ෂාව සහ නාවික ගමනාගමන කටයුතු සුරක්ෂිත කිරීම සඳහා ජාත්‍යන්තර නීති රීතිවලට අනුකූලව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී නැවත තහවුරු කෙරිණි.
පවතින ගෝලීය අර්බුද හමුවේ බලශක්ති ආරක්ෂාව සහ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීම සඳහා දෙපාර්ශ්වය එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද සාකච්ඡා වූ අතර, ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්ති සහ හරිත බලශක්ති ව්‍යාපෘති සඳහා යුරෝපා සංගම් ආයෝජන වැඩිකිරීමේ ඇති හැකියාව පිළිබඳව විශේෂ නියෝජිතවරිය මෙහිදී සුබවාදී අදහස් පළ කළාය. හවුල්කාරිත්වයන් විවිධාංගීකරණය කිරීම හරහා ශ්‍රී ලංකාවට නව ආර්ථික අවස්ථාවන් උදාකර ගැනීමට මෙහිදී මග විවර වූ අතර, සංචාරක ව්‍යාපාරයේ දියුණුව සඳහා ද යුරෝපා සංගමයේ සහාය අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ජාත්‍යන්තර වෙළඳාමේදී ඉතා වැදගත් වන GSP+ සහනය නැවත ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් සිදු කරනු ලබන නීතිමය සංශෝධන සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වත්මන් තත්ත්වය පිළිබඳව ද යුරෝපා සංගම් නියෝජිත පිරිස මෙහිදී දැනුවත් කරන ලදී. නීතියේ ආධිපත්‍යය, යහපාලනය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට රජය දක්වන අඛණ්ඩ කැපවීම පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා සහතික වූ අතර, මැයි 9 වන දිනට යෙදුණු යුරෝපීය දිනය වෙනුවෙන් දූත පිරිසට සිය සුබපැතුම් එක් කිරීමට ද ඔහු අමතක නොකළේය. මෙම හමුව ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික සහ ආරක්ෂක ගමන්මඟට සුවිශේෂී පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














