ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ සංස්කෘතික අනන්‍යතාව, දේශීය ආහාර පිසීම සහ ස්වභාවික සුන්දරත්වය කේන්ද්‍ර කරගත් සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් මාලදිවයිනට අයත් සන් සියම් රිසෝර්ට්ස් යටතේ ඇති ප්‍රිව් එකතුවේ කොටසක් වන ‘සන් සියම් පාසිකුඩා’ නිවාඩු නිකේතනය විසින් ලෝක සංචාරක දිනය අති උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය. අමුත්තන්ට අව්‍යාජ ශ්‍රී ලංකා සංස්කෘතියේ අත්දැකීමක් ලබාදීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද මෙම සැමරුම, ලොව පුරා සංචාරක ව්‍යාපාරයේ වගකීම්සහගත සහ තිරසාර සංවර්ධන සංකල්ප තහවුරු කරන ප්‍රායෝගික වේදිකාවක් බවට පත්විය.
සාම්ප්‍රදායික ශ්‍රී ලංකික රසකැවිලි සහ වීදි ආහාර ප්‍රදර්ශනය කරන විශේෂ ආහාර උත්සවයකින් සහ සංස්කෘතික නර්තන සංදර්ශනවලින් සමන්විත වූ මෙම වැඩසටහන, හුදු විනෝදාස්වාදයෙන් ඔබ්බට ගනිමින් පරිසර හිතකාමී ප්‍රජා සත්කාරක ක්‍රියාකාරකම් සමඟ බද්ධ වීම විශේෂත්වයකි. ඒ යටතේ නිවාඩු නිකේතනයේ අමුත්තන්ගේ සහභාගීත්වයෙන් ගස් සිටුවීමේ ව්‍යාපෘතියක් සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර, එය ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළ තීරයේ වගකීම්සහගත සංචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා ඔවුන් සතු අඛණ්ඩ කැපවීම මනාව පෙන්නුම් කළේය.
මෙම සැමරුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ කළමනාකාරීත්වය පෙන්වා දුන්නේ, සංචාරක ව්‍යාපාරය යනු ගමනාන්තයෙන් ප්‍රයෝජන ලැබීම පමණක් නොව එයට යළි යමක් දායක කිරීම බවයි. ඉදිරියටත් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් මෙවැනි ප්‍රජා කේන්ද්‍රීය හා පාරිසරික මුලපිරීම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර, මෙමඟින් ජාත්‍යන්තර සංචාරකයින් අතර ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය සහ ස්වභාවික උරුමය පිළිබඳව ඇති පිළිගැනීම තවදුරටත් ඉහළ යනු ඇත.
















