27 April 2024
#දේශීය #පුවත්

මෙවර මහ කන්නයේ දී වී අස්වනු හානිය වී මෙට්‍රික් ටොන් 350,000 ක් – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

මෙවර මහ කන්නයේ දී වී අස්වනු නෙලා ගැනීමේ දී සිදුව ඇති පසු අස්වනු හානිය වී මෙට්‍රික් ටොන් 350,000 කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

මෙවර මහ කන්නයේ දී වී අස්වනු නෙලා ගැනීමේ දී සිදුව ඇති නාස්තිය සියයට 10 සිට 15 දක්වා ඉහළ ගොස් ඇති අතර ඇතැම් ප්‍රදේශවල එය සියයට 25ක් පමණ වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද Crop Cutting survey මගින් අනාවරණය වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (02) ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02) දින ආරම්භ වූ බටඅත AgriTech-24 කෘෂි තාක්ෂණික ප්‍රදර්ශණයේ දී හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් හමුවේ දීය.

මෙම වී වගාව ආශ්‍රිත පසු අස්වනු හානිය සළකා බලන විට මෙවර මහ කන්නයේ දී අඩුම තරමින් වී මෙට්‍රික් ටොන් 350,000කට ආසන්න ප්‍රමාණයක් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට ප්‍රධාන හේතුන් කිහිපයක් තිබේ. දීර්ඝ කාලයක් වී වගාව කළ ද බොහෝ ගොවින් අස්වනු නෙලාගත යුත්තේ කුමන අවස්ථාවේ දී ද යන්න ගැන ඔවුන්ට නිසි අවබෝධයක් දි නැත. බොහෝ ගොවීහු මුළු ගොයම් කරළ ම පැසෙන තෙක් අස්වනු නෙලා ගැනීම ප්‍රමාද කරතී. නමුත් ගොයම් කරළෙහි සියයට 80ක් පැසුනු පසු අස්වනු නෙලාගත යුතු බවත්, අපතේ යන්නේ ගොයම් කරළක ඇති හොඳම කොටස බවට කෘෂි අංශ අවධාරණය කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පැරණි ගැමියන් කියන්නාක් මෙන් “කරළ දුටු තිස් දවසකින් අස්වනු නෙලීම” සිදු කිරීම මගින් වී වගාවේ පසු අස්වනු හානිය අවම කරලීමේ පාඩම ගොවි ජනතාවට කියා දීම කෘපනිසවරුන්ගේ රාජකාරියේ කොටසක් බව ද අමාත්‍යවරයා පැවසිය.

එමෙන්ම මෙවර අස්වනු හානිය නිසා අහිමිව ඇති අස්වනු ප්‍රමාණයේ වටිනාම රුපියල් බිලියන ගණනක් වනු ඇති බවත්, එම ප්‍රමාණය වළක්වා ගැනිමට හැකි වී නම් මෙවර මහ කන්නයේ අස්වනු තුළින් සහල් අතිරික්තයක් පවා රට තුළ ඇතිවීමට ඉඩකඩ තිබු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ගොයම් කරළ හොදින්ම වේළී ගිය පසු අස්වනු නෙලාගැනීමට භාවිතා කරන භූතයා හා සුනාමි වැනි යන්ත්‍රවලින් සිදුවන අපතේ යාම ඉහළ ගොස් තිබේ. මේනිසා අස්වනු නෙලා දින කිහිපයක් තුළ කුඹුරේ ගොයම් නැවත වැපිරූ පරිදි ගොයම් පැළවෙන්නේ එම අපතේ ගිය හොඳම වී නිසා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වාර්තාවක් ලබා දිම මගින් සනාථ කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *