27 April 2024
#දේශීය

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි -ඇමති ප්‍රසන්න

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27(2) යටතේ අසන ලස ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.

වත්මන් ජනාධිපතිතුමන් ඒ සදහා කටයුතු කරමින් සිටින බවත්, අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඒ සදහා ජාතික සභාවක් ස්ථාපිත කර ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට තිබු නමුත් එය සිදු නොකළ බවත්, වත්මන් ආණ්ඩුව එය සිදු කරන විට ඊට සහය දක්වන ලෙසත් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා සදහන් කළේය.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේ අදහස් පල කලේය “පවතින ආර්ථික අර්බුදය තුළ ආනයන සීමා කිරීම නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය කරන ද්‍රව්‍යවල හිගයක් ඇති වීම හා කෘතිම ලෙස මිල ඉහළ යාම නිසා එයට පිළියමක් ලෙස රජය විසින් සී/ස ගොඩ ද්‍රව්‍ය සංස්ථාව මගින් අමාත්‍ය මණ්ඩලය හා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය සමගින් පෞද්ගලික ආනයනකරුවන් හරහා ඉදි කිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය සිමෙන්ති හා ටයිල් ආනයනය කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් ආනයනකරුවන් ලියාපදිංචි කර සිමෙන්ති හා ටයිල් ගෙන්වීමට කටයුතු කළා. මෙය මෙම වසර අවසන් වන තුරු ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අතර, ලබන වසරේ (2023) දෙසැම්බර් දක්වා දීර්ඝ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.

මුදල් නාස්තියක් නොවන පරිදි කළ හැකි ගිවිසුම්ගත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් සීමාව තුළ උපයෝජනයට ලක්වන ලෙස කළමනාකරණය සිදු කළා. ඒ සඳහා අරමුදල් ලබා ගැනීමේ හැකියාව අනුව සේවා යෝජකයන් අදාළ රේඛීය අමාත්‍යාංශයේ අවසරය ලබාගෙන භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර පවතින වෙළදපළ මිල ගණන් සහ අදියර වශයෙන් කඩිනමින් ව්‍යාපෘති නිම කිරීමට කටයුතු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල තීන්දුව (22/0789/540/002) සභාගත කරනවා.

කොන්ත්‍රාත්කරුවන් වෙත ඉදිරිපත් කර ඇති ඉදිකිරීම් ව්‍යාපෘති ජනතාවට ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි නිම කිරීමට හැකි ව්‍යාපෘති අවසන් කිරීමටත් එසේ කළ නොහැකි ව්‍යාපෘති දෙපාර්ශවයේ එකඟතාවය මත අවසන් කිරීමටත් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයකු ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. (අංක 22/0789/540/002 හා 2022.06.13 දින අමාත්‍ය මණ්ඩල තීරණය අනුව) කොන්ත්‍රාත්කරුවන් හා එම ක්ෂේත්‍රයේ නියැලුනු ඉඳිකිරීම් ශිල්පීන් ආරක්ෂා කර ගැනීම උදෙසා සහන ලබා දීමට නියෝග ලබා දුන්නා. මිල උච්ඡාවචනයේ දී කොන්ත්‍රාත්කරුවන් ගේ ආරක්ෂාව උදෙසා නියමිත ගෙවීම් ලබා ගැනීමට අවශ්‍ය උපදෙස් කොන්ත්‍රාත්කරූවන්ට හා සේවා දායක ආයතනවලට රජය නියාමන අධිකාරිය(CIDA) විසින් ලබා දී තිබෙන නමුත් එම මිල ගණන් යාවත්කාලීන කර නියමිත ආකාරයට ගෙවීම් සිදු කිරීම සඳහා marketing bulletin එක කොන්ත්‍රාත්කරුවන් සෑහීමකට පත්වන ආකාරයට සකස් කර මාසිකව යාවත්කාලීන කරමින් නිකුත් කරනු ලබනවා. කොන්ත්‍රාත්කරුවන්ට සහ සේවා දායකයින්ට එකග විය හැකි ගෙවීම් කටයුතු සිදු කිරීම සදහා චක්‍රලේඛ පිළියෙල කර අමාත්‍යාංශ මට්ටමින් ඉදිරිපත් කර තිබෙනවා.

නිර්මිතයන් අවසන් කිරීමේ දී මිල උච්ඡාවචනයේ දී සිදුවුන අවාසිදායක තත්ත්වය මග හරවා ගැනීම සඳහා ඊට අදාළව ඇතුළත් කර තිබූ සීමාවන් ඉවත් කිරීමට හා කොන්ත්‍රාත් කාලය, කොන්ත්‍රාත් වර්ගය සහ අවිනිශ්චිත වියදම් සඳහා වෙන් කිරීම් නොසලකා වැඩ කොන්ත්‍රාත්තු සඳහා CIDA සූත්‍ර මත පදනම්ව සියලුම ව්‍යාපෘති සදහා සත්‍ය මිල විචලනයන් ගෙවීමට CIDA නියෝග අනුව කටයූතු කිරීම සඳහා ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීම සඳහා සාධාරණ ක්‍රමවේදයක් පාරදෘශ්‍ය භාවයෙන් යුතුව සිදු කිරීම අවශ්‍ය බව අප රජය ද වටහා ගෙන ඇත ඒ සඳහා අප අමාත්‍යාංශය, නියාමන අධිකාරිය වන CIDA ආයතනය කොන්ත්‍රාත්කරුවන්ට හා සේවා දායකයින්ට අන්තර්ජාලය ඔස්සේ නිර්මාණ කටයුතු හා අදාළ ගෙවීම් කටයූතු සිදු කරන ආකාරය හා පිළිවෙළ ඉදිරිපත් වන රජයෙන් නියාමනය වන දත්ත පද්ධතියක් කරමින් පවතින අතර හා එයට සමගාමීව CIDA අධිකාරියේන් නිකුත් කරන QR කේතය සහිත නව හැදුනුම්පතකීන් පාරදෘශ්‍යව ඉදිරිපත් කිරීමට අප රජය දැනටමත් කටයුතු කරමින් පවතිනවා. එය නුදුරු අනාගතයේ දී ම අවසන් කිරීමට නියමිතයි.

කොන්ත්‍රාත්කරුවන්ගේ ඉදිරියට නිම කිරීමට ඇති වැඩ ප්‍රමාණය ඔවුන්ගේ මූල්‍ය දුෂ්කරතාවන් පිළිබද අවධානය යොමු කොට සකස් කරන ලද ප්‍රමුඛතා ලේඛන මහා භාණ්ඩාගාරය වෙත අතැති බිල් ලෙස ඉදිරිපත් කර ඇති අතර මුදල් ලැබෙන ආකාරය අනුව දැනට ගෙවීම් සිදු කරනු ලබනවා.

රටේ සංවර්ධන ව්‍යාපෘති ආණ්ඩු සමග වෙනස්වීම නුසුදුසු බව අපද එකඟ වන කාරණයක්. මේ සඳහා නිශ්චිත ක්‍රමවේදයක් හා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව පිළිගන්නා අතර එයින් සෑහීමකට පත් නොවී අප විසින් කළ හැකි තවත් ක්‍රමවේද සඳහා අප අමාත්‍යාංශය කටයුතු කරමින් පවතින බව සතුටින් දන්වමි. මෙහිදී මෙම ව්‍යාපෘති අතරමග නවතා දැමීමේ දී පොදු මහජනතාවට කොන්ත්‍රාත්කරුවන්ට සහ සේවා දායකයින්ට සිදුවන අසාධාරණය නීශ්චය වශයෙන්ම අවසන් කරලීමට නම් කොන්ත්‍රාත් ගිවිසුම් සවිමත් කිරීම සහ ඒවායින් පැන නගින ආරාවුල් කඩිනමින් විසදීමට අවශය ක්‍රමවේද බලගැන්වීම සහ යාවත්කාලීන කිරීම අප විසින් වටහා ගෙන තිබෙනවා. මේ සදහා ඉදි කිරීම් කර්මාන්ත සංවර්ධන පනත සවිමත් කිරීම අප විසින් දැනටමත් අවසන් කරමින් පවතින අතර තීරකකරණය, සමථකරණය, හා සංහිදියාව (conciliation) යන කටයුතු සඳහා වන ගැසට් පත්‍රිකා සහ පාර්ශවකරුවන් සමඟ ක්‍රියා කර ඇති අතර එම කටයුතු ලබන වසරේ මුල් භාගයේ නිම කිරීමට නියමිතයි. මෙහිදී මෙම ආරවුල් නිරවුල් කිරීම සවිමත් කිරීමේ දී අපගේ අභිප්‍රාය වනුයේ මිල අධික බේරූම්කරණය සඳහා ඉදි කිරීම් කර්මාන්තය යොමු නොකර ඊට පෙර පාර්ශවකරුවන් ඒකග වන ක්‍රමවේදයකට නීතියට අදාළව යොමු කිරීමයි. එනම් දැනටමත් ඉදි කීරීම් පනතේ අඩංගූ තීරකකරණ ක්‍රියාවලිය සවිබල ගැන්වීමයි. ඒ සදහා අප අමාත්‍යාංශය ඉතා විධිමත් පෙර දැක්මකින් කටයුතු කරමින් පවතිනවා.

රජයේ තීරණ අනූව රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘති මන්දගාමීව සිදු කරනුයේ අප රටෙහි දැනට පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි. මෙම කරුණ අප සියල්ලන්ම හොඳින් වටහාගෙන මෙම ප්‍රශ්නයට පිළිතුර වටහාගැනීම අත්‍යවශය කාරණයක්. මෙම ව්‍යාපෘති මෙම රජයෙන් සිදු කරන අවම ව්‍යාපෘති ප්‍රමාණය ඉතා ඉහළ ප්‍රමිතියකින් සිදු කර ගැනීම, නාස්තිය අවම කර ගැනීම අප අමාත්‍යාංශය පෙරදැරි කරගත් ප්‍රධාන කාරණයන් ය. මේ සදහා අප අමාත්‍යාංශය යටතේ ඇති CIDA ආයතනයෙන් ඉදි කිරීම් ශිල්පීන් ගේ නිපුණත්වය ප්‍රමිතිකරණය කර නිර්මිතයන් ගේ ගූණාත්මකභාවය ඉහළ දැමීම උදෙසා සුදුසු ශිල්පීන් තෝරා ගැනීමට දැනට පවතින ඉදී කිරීම් කර්මාන්ත සංවර්ධන පනත බල ගන්වා එහි අන්තර්ගත, එහෙත් මෙතෙක් කල් පමා වී තිබුණු ඉඳිකිරීම් ශිල්පීන් හා නිපුණ ඉදි කිරීම් ශිල්පීන් (Craftsman & Master craftsman) වර්ග කිරීම මීට සති දෙකකට පෙර මාගේ ප්‍රධානත්වයෙන් සිදු කොට තිබෙනවා. මෙම වර්ගීකරණයෙන් රැකියාවල් අහිමිවන ශිල්පීන්ට ජීවනෝපාය සවිමත් කිරීම සදහා අගය එකතු වීමක් සිදුවන අතර සිදුවෙමින් පවතින සීමිත නිර්මිතයන් ද වැඩි අගය එකතු වීමකින් නිමා වෙයි. මෙම වර්ගීකරණයේ දී ඉදි කිරීම් කර්මාන්තයේ නියැලුනුවන්ගේ කුසලතා විශේෂ ඇගයීමකට ලක් කරන බැවින් ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු සේවකයින් තම හැකියාවන් උද්දීපනය කර ගැනීම නිසැකයෙන් සිදු වන අතර ඔවුනට ලාංකීය ක්ෂේත්‍රයක හෝ විදේශගත වීමේ හැකියාව පහසුවෙන් ලබා ගත හැකි වෙයි. එබැවින් එක් අතකින් මහ ජනතාවට රජයෙන් ඉදි කරන නිර්මිතයන් ඉහළ ප්‍රමිතියකින් හා නාසිතිය අවම කරමින් සිදු කරන අතර, ලාංකීය ශ්‍රම බලකාය නිතැතින්ම සවි බල ගන්වනු ඇත. මෙම ශිල්පීය හැදුනුම්පත් නිකුත් කිරීම නොවැම්බර් 10 දින දියත් කිරීමෙන් මෙම ප්‍රතිලාභ ලබා ගැනීම දැනටමත් ආරම්භ කර තිබෙනවා. මෙම පියවර සඳහා ක්‍රමවේද සකස් කිරීම ආයතන හදුනාගැනීම private public partnership දියත් කිරීම සදහා ඉදිරි මස තුළ කටයුතු අවසන් කර ගැසට් පත්‍රය නිකුත් කිරීමට නියමිතයි.

මෙම විදේශ රටවල ඉදි කිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සදහා Trade Certificate යන වචනය භාවිතා කර ඇති නමුත් මෙහිදී අප රටේ ඉදි කිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ භාවිතා වනුයේ නිපුණ ඉදි කිරීම් කරුවන් නියමිත ආකාරයට ලියාදිංචි කර හැදුනුම්පත් ලබා දීමයි. මෙහිදී Trade Certificate යන්න හැදුනුම්පතෙහි අන්තර්ගත වනුයේ අප නියාමන අධිකාරිය වන CIDA ආයතනයෙන් දැඩිව නියාමනය වන Skilled Test සහ එයට සමගාමීව CIDA ආයතනය විසින් නිකුත් කරන “සාමාන්‍ය සහතිකය” සහ “කුසලතා සහතිකය” (Certificate & Merit Certificate) තුලයි. මෙහිදී සදහන් කර ඇති Trade Certificate යන්නට වඩා ඉහළ පිළිගැනීමක් ඇති ප්‍රමිතියකින් යුතු ක්‍රමවේදයකට අප අමාත්‍යාංශය දැනටමත් කටයුතු සිදු කරමින් සිටිනවා.

දැනට පවතින ආර්ථික තත්ත්වය යටතේ වාර්ෂිකව ඉදිරිපත් වන පුහුණුවන්නන්ට ඉහල ප්‍රමිතියකින් යුතු පුහුණුවක් ලබා දීම පෙරදැරි කරගෙන අප අමාත්‍යාංශය යටතේ පවතින නියාමන අධිකාරිය විසින් දැනටමත් පුහුණුවීම් විධිමත් කිරීම සදහා අවශ්‍ය ක්‍රමවේද සකස් කර යාවත්කාලීන කරමින් පවතින අතර ඒ සදහා ආදර්ශ පුහුණු මධඨ්‍යස්ථාන වෙනුවෙන් ගල්කුලම OTC ආයතනය බත්තරමුල්ල CHPB හා බත්තරමුල්ල පැලවත්තේ පිහිටි CETRAC ආයතන පෙළ ගස්වා ප්‍රායෝගික පුහුණුව සහ පුහුණුව පරීක්ෂාව සදහා කටයුතු කර විධිමත් කිරීම් අවසන් වෙමින් පවතිනවා. තවද අන්තර්ජාතික තලයට සුදුසු ආකාරයේ යාන්ත්‍ර ක්‍රියාකරුවන් සදහා නව පාඨමාලාවන් ද සකස් කර ඒවා අන්තර්ජාලයේ ප්‍රදර්ශනය කර ආදර්ශමත් පුහුණු ක්‍රමවේද පුහුණුව ලැබීමට බලාපොරොත්තුවන්නන් හට මග පෙන්වීම සදහා දැනටමත් කටයුතු කර තිබෙනවා.

ගරු කතානායකතුමනී, මම කියන්න කැමැතියි මේ රටේ ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. දැන් අපි ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීමට වර්තමාන ජනාධිපතිතුමා කටයුතු කරමින් යනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික සභාව ස්ථාපිත කර තිබෙනවා. ජාතික සභාව යටතේ කමිටු දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් පාඨලි චම්පික රණවක මන්ත්‍රීතුමාගේ සභාපතිත්වයෙන් ආර්ථික ස්ථායිකරණ කමිටුව. දෙවැනි කමිටු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ සභාපතිත්වයෙන් ජාතික ප්‍රතිපත්ති කමිටුව.

හැබැයි මම මතක් කරන්න කැමැතියි එතුමාට කාලෙන් කාලෙට ආණ්ඩු මාරු වෙද්දි රටේ ප්‍රතිපත්ති පමණක් නොවෙයි සංවර්ධන ව්‍යාපෘති පවා අත්හිටවූ කාලයක් තිබුණා. උදාහරණ විදිහට පොර්ට් සිටි ව්‍යාපෘතිය/ මධ්‍යම අධිවේගී මාර්ගය / කටුනායක ගුවන්තොටුපල පුළුල් කිරීමේ දෙවැනි අදියර / මහින්දෝදය පාසල් යන ව්‍යාපෘති හදුන්වන්න කැමතියි.

විපක්ෂ නායකතුමා වසර ගණනක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔබතුමාගේ පියාත් වසර ගණනක් පාර්ලිමේන්තුවේ හිටියා. ඔබතුමාලගේ ජාතික ආණ්ඩුවක් තිබ්බනේ. ඒ කාලයේ මේවා හදන්න තිබ්බා. ඔබතුමා තමයි මෛත්‍රිපාල ජනාධිපතිතුමාගේ හොදම සුවිශේෂි ගෝලයා. ඒ කලෝ රනිල් වික්‍රමසිංහ මහත්තයට බැන්නනේ. ඔබතුමාලගේ හැම හොද දේකටම අපි උදව් කරනවා. ඔබතුමා ඒ අභියෝගය භාර ගත්තේ නැ. මං ඔබතුමාටත් ඇවිත් භාර ගන්න කියලා ආරාධනා කළා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයට එන්න කිව්වෙත් නැ ආරක්ෂක කමිටුවට. හැබැයි ඔබතුමාව හැමදේකටම ගෙන්නුවා. එතකොට මේ දේවල් යෝජනා කරන්න තිබ්බා. දැන් අද ඒ දේවල් කරනවා නම් ඒකට උදව් කළ යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ” යනුවෙන් ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *