27 April 2024
#දේශීය

2024 වසරේදී පහළොස් වන ජන හා නිවාස සංගණනය පැවැත්වීමටත් සැලසුම්

2024 වසරේදී පහළොස් වන ජන හා නිවාස සංගණනය පැවැත්වීමටත් සැලසුම් කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, ජන හා නිවාස සංගණනය යනු රටක හෝ යම් නිශ්චිත භුමි ප්‍රදේශයක ජීවත්වන සියලුම පුද්ගලයින් පිළිබඳව ප්‍රජා විද්‍යාත්මක, ආර්ථික හා සමාජයීය දත්ත මෙන්ම නිවාස පිළිබඳ දත්ත රැස්කිරීමට සැලසුම් කිරීම, එකතු කිරිම, සැකසිම, ඇගයීම, විශ්ලේෂණය කිරිම, ප්‍රකාශයට පත් කිරීම හෝ බෙදා හැරීම යන සමස්ථ ක්‍රියාවලිය වේ. (එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අර්ථ දැක්වීම අනුව).

ශ්‍රී ලංකාවට ජන සංගණනයන් පැවැත්වීම පිළිබඳව දීර්ඝ ඉතිහාසක් ඇති අතර නීතිමය පදනමක් මත පැවැත්වූ මුල්ම ජන සංගණනය 1871 වර්ෂයේ මාර්තු මස 27 වන දින පවත්වා ඇත. දකුණු ආසියාතික රටවල් අතරින් ප්‍රථම වතාවට පැවැත්වුණු විද්‍යාත්මක ජන සංගණනය එය විය. ශ්‍රී ලංකාවේ අවසන් වරට ජන හා නිවාස සංගණනයක් පවත්වනු ලැබුයේ 2012 වර්ෂයේ දී වන අතර එය 14 වන සංගණනයයි.

ලෝකයේ අනෙකුත් බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාවේ ද ජන හා නිවාස සංගණනය වසර 10කට වරක් පවත්වනු ලබයි. මෙය සිදු කරනු ලබන්නේ සංගණන ආඥා පනතින් ලැබී ඇති බලතල ප්‍රකාරව ය. සංගණන ආඥා පනතේ සඳහන් පරිදි, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අයත් රේඛීය අමාත්‍යාංශයේ අමාත්‍යවරයා විසින් ජන හා නිවාස සංගණනයක් පැවැත්වීම සඳහා නියෝග කරනු ලබයි. ඒ අනුව වර්තමාන රජයේ මුදල්, ආර්ථීක ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වන, ශ්‍රී ලංකා රජයේ අතිගරු ජනාධිපතිතුමා විසින් 2023 ජුලි මස 10 දින අති විශේෂ ගැසට් පත්‍රය මගින් 2023 හා 2024 වර්ෂවල දී ජන හා නිවාස සංගණනයක් පැවැත්විය යුතු බවට නියෝග කර තිබේ. එම ගැසට් නිවේදනය සහ එයට ආනුශංගික 2023 ජුලි මස 11 සහ 12 දිනයන්හි නිකුත් කළ අති විශේෂ ගැසට්පත්‍ර අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ අග භාගය තුල දී සියලුම ගොඩනැගිලි හා සංගණන ඒකක ලැයිස්තුගත කිරීමටත් 2024 වසරේදී පහළොස් වන ජන හා නිවාස සංගණනය පැවැත්වීමටත් සැලසුම් කර ඇත.

සංගණනය යනු ඉතා විශාල වූත් සංකීර්ණ වූත් ක්‍රියාවලියක් වන අතර එහි සැලසුම් කටයුතු සංගණනය පැවැත්විමට වසර කිහිපයකට පෙර ආරම්භ කරනු ලබයි. යම් දශකයක දී සංගණනයක් පැවැත්විමට අවශ්‍ය උපදෙස්, මූලධර්ම සහ සංකල්ප එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලබයි. එම උපදෙස් අපේ රටට සුදුසු පරිදි සකස් කර ගනිමින් සංගණනය සැලසුම් කරනු ලැබේ. සංගණනයේ දී කිසිදු පුද්ගලයෙකු මඟ නොහැරෙන ලෙසත්, දෙවරක් ගණන් නොගැනෙන ලෙසත් තොරතුරු රැස්කිරිම සිදු කළ යුතු වේ. එම අරමුණ සපුරා ගැනීම සඳහා සංගණනය අදියර 04 ක් යටතේ සිදු කරනු ලබයි. එනම් සිතියම් සකස් කිරීමේ අදියර, ලැයිස්තුගත කිරීමේ අදියර, ගණන් ගැනීමේ අදියර හා දත්ත ප්‍රචලිත කිරීමේ අදියර වේ.

සංගණනයේ පළමු අදියර වන සිතියම් සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර මුළු දිවයිනම සංගණන කාණ්ඩ ලෙස හඳුන්වනු ලබන කුඩා ප්‍රදේශවලට (ගණන් ගැනීමේ ප්‍රදේශ) වෙන්කර ඇත. ඒ අනුව, සංගණන කාණ්ඩ 88,000 ක් පමණ හඳුනාගෙන සිතියම්ගත කර ඇත. එහි දී නිවැරදි මායිම් සහිත ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමේ භූගෝලීය දත්ත පද්ධතියක් දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලදී.

මෙම සංගණන කාණ්ඩ සිතියම් පදනම් කරගනිමින් සංගණනයේ දෙවන අදියර වන සියලුම ගොඩනැගිලි ලැයිස්තුගත කිරීම 2023 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී ආරම්භ කිරීමට නියමිතය. පුද්ගලයෙකු ජීවත් වියහැකි ඒකක සංගණනයේ දී ‘නිවාස ඒකක’, ‘සමූහ වාසස්ථාන’, ‘නේවාසික ආයතන’ හා ‘වාසය සඳහා නොවන ස්ථාන’ යනුවෙන් වර්ග හතරක් යටතේ හඳුනාගනු ලබයි. ඒ අනුව, ලැයිස්තුගත කිරීමේ දී සියලුම ගොඩනැගිලි මෙන්ම ඒවා තුල පිහිටා ඇති ඒකක ද ඉහත සඳහන් වර්ග කිරීම අනුව හඳුනාගෙන අංක කර ඒ පිළිබඳ විස්තර ලැයිස්තුවකට ඇතුලත් කිරීම සිදු කෙරේ. එක් ගොඩනැගිල්ලක් තුළ සංගණන ඒකක එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් තිබිය හැක.

මෙම ලැයිස්තුව පදනම්කර ගනිමින් සංගණනයෙහි තෙවන අදියර වන සියලුම පුද්ගලයින් හා නිවාස පිළිබද දත්ත රැස් කිරීම 2024 වර්ෂයේ දී සිදු කිරිමට නියමිත වේ. මෙමගින් රටෙහි ජීවත්වන පුද්ගලයන්ගේ වයස, අධ්‍යාපන මට්ටම, රැකියාව, පදිංචිය ඇතුළු විස්තර රාශියක් රැස් කරනු ලබයි. අවසාන අදියරෙහි දී මෙසේ රැස් කරන ලද දත්ත පදනම් කර ගනිමින් ජනගහනය හා ඒ ආශ්‍රිත තොරතුරු ප්‍රකාශයට පත්කරනු ලැබේ.

මෙවර ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මුද්‍රිත ප්‍රශ්නාවලි වෙනුවට දත්ත රැස්කිරීම සඳහා ටැබ්ලට් පරිගණකය භාවිතා කෙරේ. එම ක්‍රමවේදය පරිගණක ආධාරක පුද්ගල සම්මුඛ සාකච්ඡා (CAPI- Computer Assisted Personal Interviewing) ලෙස හැඳින් වේ. තවද, පසුගිය සංගණනයන්හි ලැයිස්තගත කිරීමේ අදියරේ දී රැස් කරන ලද තොරතුරුවලට අමතර තොරතුරු ද මෙවර රැස් කිරීමට නියමිත වේ. එනම් සියලුම ගොඩනැගිලි ද අංක කෙරෙන අතර ඒවායේ ගෝලීය ස්ථාන නිර්ණායක (GPS පාඨාංක) ලබා ගැනිම ද සිදු කෙරේ. එසේම මුහුණ දීමට සිදුවුණු ආපදා තත්ත්වයන් පිළිබඳව තොරතුරු ද ලබා ගැනේ.

සංගණනයේ ගණන් ගැනීමේ අදිියරෙහි දී රැස්කරනු ලබන තොරතුරු මොනවා ද යන්න දත්ත භාවිතා කරන්නන්ගේ ඉල්ලීම් හා සංසන්දනාත්මක දත්ත අවශ්‍යතාවයන් ද සැලකිල්ලට ගනිමින් තීරණය කර ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙහි තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අංශය මඟින් සංගණනය සඳහා භාවිත කිරීමට අවශ්‍ය සියලු මෘදුකාංග හා දත්ත පද්ධති සංවර්ධනය කිරීම සිදුකර ඇත.

ලැයිස්තුගත කිරීමේ අදියරෙහි තාක්ෂණික කටයුතු මෙහෙයවීම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර පරිපාලන කටයුතු පිළිබඳ වගකීම දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ඇතුළු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනය විසින් දරනු ලැබේ. ඒ අනුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනයට අයත් නිලධාරීන් 22,000 කගේ පමණ සහභාගිත්වයෙන් ලැයිස්තුගත කිරීමේ අදියරෙහි ක්ෂේත්‍ර කටයුතු සිදු කරනු ලබයි.

සංගණන ආඥා පනතෙහි ප්‍රකාරව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ඳ සංගණන අධීකාරි වශයෙන් පත්වන අතර දිස්ත්‍රික් ලේකම්/ දිසාපති දිස්ත්‍රික් සංගණන කොමසාරිස්වරුන් වශයෙන්ද, අතිරේක දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්වරුන්, නියෝජ්‍ය සංගණන කොමසාරිස්වරුන් ආදී වශයෙන් ද ගැසට් පත්‍රයක් මඟින් මේ වනවිටත් ප්‍රකාශයට පත්කර ඇත.

ලැයිස්තුගත කිරීමේ අදියරෙහි ක්ෂේත්‍ර කටයුතු සිදුකිරීම සඳහා දෙපාර්තමේන්තු නිලධාරීන් පුහුණු කිරීම මේවන විටත් අවසන් වී ඇති අතර ලැයිස්තුගත කිරීමේ ක්ෂේත්‍ර කටයුතු සඳහා සහභාගිවන ග්‍රාම නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු මේ දිනවල දී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ පහළම පරිපාලන මට්ටම වන ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ජනගහනය හා නිවාස වල තත්ත්වය පිළිබඳව තොරතුරු ලබා දෙන ප්‍රධානම දත්ත මූලාශ්‍රය ජන හා නිවාස සංගණනය වේ. ඒ අනුව, ජන හා නිවාස සංගණනයෙන් ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට හා සැලසුම් සකස් කිරීමට මෙන්ම රාජ්‍ය පරිපාලනයට ද අවශ්‍ය වන ජන සංඛ්‍යාව, එහි භූගෝලීය ව්‍යාප්තිය, ජන වාර්ගික ව්‍යාප්තිය හා ජනගහනයේ විවිධ ප්‍රජා විද්‍යාත්මක හා සමාජයීය ලක්ෂණ මෙන්ම නිවාසවල තත්ත්වය පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු ද ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටම දක්වා ලබා දීමට හැකියාව ඇත. මෙම තොරතුරු අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජ සුබසාධනය, සීමා නිර්ණය මෙන්ම ආපදා තත්ත්වන් වැනි හදිසි අවස්ථාවන් සඳහා ද ප්‍රයෝජනවත් වේ.

ජන හා නිවාස සංගණනයෙන් රැස් කරනු ලබන පෞද්ගලික තොරතුරු පුද්ගලයෙකුගේ අනන්‍යතාවය හෙලි වන පරිදි කිසිදු බාහිර පාර්ශවයකට ලබා දීමට නෙැහැකි වන පරිදි සංගණන ආඥා පනත මගින් ආරක්ෂාව ලබා දී ඇත. ඒ අනුව, එම තොරතුරු වල රහස්‍යභාවය පිළිබදව කිසිදු සැකයක් ඇතිකර ගතයුතු නැත. එමෙන්ම, සංගණන ආඥා පනත අනුව සියලු පුරවැසියන් සංගණනය සඳහා නිවැරදි තොරතුරු ලබා දිමට බැඳි සිටියි. ඒ අනුව, මෙම ජාතික කර්තව්‍ය සඳහා රටෙහි සියලු ජනතාවගේ පූර්ණ සහයෝගය අපේක්ෂා කෙරේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *