27 April 2024
#දේශීය #පුවත් #සංවර්ධන

අපනයන බෝගයක් ලෙස පුවක් වගාව ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

අපනයන බෝගයක් ලෙස පුවක් වගාව ප්‍රචලිත කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

දැනට වැවිලි බෝගයක් වශයෙන් නොව අතුරු වගාවක් ලෙස රටේ සෑම තැනකම ව්‍යාප්තව ඇති පුවක් වගාව අපනයන බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ වැඩ පිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (18) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක් අමතමිනි.

මෙම සාකච්ඡාවේදී අනාවරණ වුයේ මෙම වසරේ දී පුවක් පැළ ලක්ෂ 17ක් ගොවීන් අතර නොමිලයේ බෙදා දීමට කටයුතු යොදා ඇත. මේ සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 37.5කි.

මේ වනවිට මෙරට පුවක් වගාව හෙක්ටයාර් 13,000ක පමණ විසිරී ඇත. නමුත් කිසිදු ස්ථානයක වැවිලි බෝගයක් වශයෙන් පුළුල් අන්දමින් වගා නොකරන අතර අතුරු බෝගයක් වශයෙන් වගා කිරීම සුවිශේෂිතය. දේශීය පුවක් විශේෂවලට අමතරව එක් ගසකින් ගෙඩි 1000ක් වශයෙන් වසරකට නෙලා ගත හැකි පුවක් විශේෂ කිහිපයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හදුන්වා දී ඇත. මාතලේ සිංහ, මාතලේ චතුර හා මාතලේ රාජා එම පුවක් විශේෂයි.

මීට අමතරව දේශීය පුවක් වන රට පුවක්, හා හම්බන් පුවක් ද පුළුල් ලෙස වගා කරනු ලබයි.

පුවක් අපනයනය කිරීම මගින් මාසිකව අප රටට ඇමරිකන් ඩොලර් මිලියන 50ක ආදායමක් ලැබෙන අතර වාර්ෂිකව ඩොලර් මිලියන 500ක පමණ ආදායමක් දැනට උපයනු ලබයි.

2021 වර්ෂයේ මෙරට පුවක් මෙට්‍රික් ටොන් 23,890ක් අපනයනය කර ඇති අතර 2022 දී මෙට්‍රික් ටොන් 24,323ක් අපනයනය කර තිබේ. 2023 වර්ෂයේ දී මෙට්‍රින් ටොන් 34,771ක් අපනයනය කිරීම මගින් මෙරටට ලැබී ඇති ආදායම රුපියල් මිලියන 86,680කි.

මෙවැනි විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි පුවක් වගාව මෙතෙක් නිසි අවදානය යොමුකර නොතිබීම මගින් පුවක් වැවීලි බෝගයක් වශයෙන් ප්‍රචලිත නොවීම ගැටළුවක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

බස්නාහිර පළාතේ වගා කළ නොහැකි කුඹුරු ඉඩම් පුවක් වගාව සඳහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳවත්, විශේෂයෙන් පුවක් වගා කළ හැකි සෑම ස්ථානයකම පුවක් වගාව සිදු කරන ලෙසත් ගොවි ජනතාව දැනුම්වත් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා පුවක් වගාව යනු කිසිදු වියදමක් සිදුනොවන වගාවක් බවත්, වනසතුන්ගෙන් හෝ වෙනත් කෘමි රෝගවලින් හානියක් සිදු නොවන වගාවක් බවත් අවධාරණය කළේය. විශේෂයෙන් පොහොර හෝ පළිබෝධ නාශක අවශ්‍යතාවයක් නැති පුවක් වගාවේ පුවක් ගසක ආයු කාලය මෙන්ම ඵල දැරීම අවසන් වන කාලයක් පිළිබඳව නිසි අධ්‍යයනයක් කර නැති බව ද සඳහන් කළේය.

විදේශ විනිමය විශාල වශයෙන් උපයා ගත හැකි අපනයන බෝගයක් වශයෙන් පුවක් වගාව ප්‍රචලිත කිරීම සඳහා මෙම වසර තුළ ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *