27 April 2024
#දේශීය

මාලිමාවේ ආණ්ඩුවක් යටතේ ජනතාවට ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය අත්කර දෙනවා – අනුර දිසානායක

අද ලංකාවේ දේශපාලනය වෙනස් වී ඇති බවත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගොඩනැගීමේ අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් ඇතිවී තිබෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 28 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් ජන හමුවකදිය.

එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය ” මෙතන ඉන්න කිසිවෙකු ඇමරිකාවට ආවේ නැහැ දේශපාලනය කරන්න. බොහෝ අය රැකියාවක් සොයාගෙන, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් හෝ ලංකාවට වඩා සුරක්ෂිත රටක් හොගෙන ඇවිත් තියෙන්නේ. ඔබ, ලංකාවෙන් බොහෝ දුරස්වූ රටක යම් සුරක්ෂිත ජීවිතයක් ගත කරද්දී ලංකාව පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න, ලංකාවේ සිදුවීම් පිළිබඳ කම්පනයක් තිබෙන කණ්ඩායමක් ලෙස තමයි අද මෙතනට සහභාගිවී සිටින්නේ. ඒ පිළිබඳව ඔබට ස්තූතිවන්ත වෙනවා. මෙතන සිටින බොහෝ දෙනෙක් මීට පෙර අපිව හමුවී නැහැ. බොහෝ පිරිසක් අපිව හමුවෙන්න ආ පළමු අවස්ථාව මෙය වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ සියලු දෙනා මීට පෙර කවර හෝ දේශපාලන ව්‍යාපාරයකට උදව් කරලා ඇති. දායකත්වය සපයලා ඇති. ඒ ඔබගේ යහපත් අපේක්ෂාවන්, බලාපොරොත්තු වෙනුවෙන්. බොහෝ පිරිසක් නායකයන් බලයට ගේන්න, ආණ්ඩු බලයට ගේන්න උදව් කළේ පුද්ගලික අපේක්ෂාවන් වෙනුවෙන් නෙවෙයි. නමුත් ඒ නායකයින් සහ ආණ්ඩු ඔබේ අපේක්ෂාවන් තුට්ටුවකට මායිම් නොකර බිඳවට්ටලා දැම්මා. ඒ දේශපාලන පක්ෂ ගැන නායකයින් ගැන කළකිරීමක්, කෝපයක් තියෙනවා ඇති. ඒක තමයි පහුගිය කාලේ ගෝල්ෆේස් පිටියෙන් ප්‍රකාශයට පත්වුනේ. එයට ඔබේ සුභපැතුම දායකත්වය තිබුණා. ඒ ඇයි? ඔබ විසින් ගෙනා පාලකයින් ඔබේ අපේක්ෂාව බිඳවට්ටලා දැමීම. මා ඔබට එක බලාපොරොත්තුවක් දෙන්නම්. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය, අපේක්ෂාව බලාපොරොත්තුව බිඳුවකින් හෝ බිඳවැටීමට ඉඩ නොතබන බවට සහතික වෙනවා. ඔබට අපේ රට ගැන තිබෙන අපේක්ෂාවම, බලාපොරොත්තුවම, සමහර විට ඊටත් වඩා අපේක්ෂාවක් බලාපොරොත්තුවක් අපිටත් තිබෙනවා. මොකද මේ විදියට අපේ මාතෘභූමියට අඟලක්වත් ඉදිරියට යන්න බැහැ. තවදුරටත් අපේ ජනතාවට මේ විදියට දුක්කදෝමන්ස්සයන්වලට මුහුණදෙමින් ජීවත් වෙන්න බැහැ. මේක අනිවාර්ය ලෙස වෙනස් කළ යුතුයි. ඔබ හිතනවාද මේ රට තවදුරටත් මේ විදියට යා යුතුයි කියලා. ඔබ හිතනවද අපේ රටේ ජනතාව මේ විදියට ජීවත් විය යුතුයි කියලා. ඒ නිසා මේ රට වෙනස් කිරීමේ ස්ථිර අධිෂ්ඨානයක් නොවෙනස්වෙන අරමුණක් අපිට තිබෙනවා. අපි ශ්‍රී ලංකාව සහතික විශයෙන්ම සුභදායි දිශාවට වෙනස් කරනවා.

ඔබ දන්නවා වුනත් අද අපේ රටේ ඛේදවාචකය මොනතරම්ද කියලා තේරුම් ගන්න කරුණු කිහිපයක් කියන්නම්. ඇස්වල කුඩා අසනීපයකට ප්‍රතිකාර ලබාගන්න රෝහලකට ගියවිට ජීවිතාන්තය දක්වා අන්ධ වෙනවා. සිඟිති දරුවෙකුගේ අසනීපයකට ඉන්ජක්ෂන් එකක් ලබා ගැනීමෙන් පස්සේ දරුවා මිය යනවා. අපේ ඇස් ඉදිරිපිට අධිකරණයෙන් අපරාධකරුවන් ලෙස දඬුවන් ලබන අය, අධිකරණයෙන් මරණ දඬුවම් හිමිවු අය, බරපතළ අපරාධ කළ අය, අපරාධවලට හවුල් වූ අය, රටක් පාලනය කරනවා. නීතියේ විධානයේ ආධිපත්‍යය නැති රටක් බවට අපේ රට පත්වී තිබෙනවා. අපරාධ ගහන රාජ්‍යයක් බවට පත්වී තිබෙනවා. එහෙම රටක් අපිට ඕනැද? මේක වෙනස් කරන්න උවමනා නැද්ද? පසුගියදා මහ බැංකු වාර්තාවේ කිව්වා ජනගහනයෙන් 68%ක් තුන්වේල කන්නේ නැහැ. කන ප්‍රමාණ්‍ය අඩුකරලා. එහෙම නැත්නම් රුචි නොවන ආහාර ලබාගන්නවා. ජනතාවට නිසි ආහාර වේලක් නැහැ. ඒ වගේම රට මහා ණය කන්දක හිර කරලා. පසුගිය දෙසැම්බර් 31ට අපේ රටේ ණය ප්‍රමාණය ට්‍රිලියන 30යි. (කෝටි ලක්ෂ 30යි) ජනගහනය කෝටි 2.2යි. තරුණයන්ට රැකියා අවස්ථාවන් නැති රටක්. සෑම තරුණ තරුණියක්ම යම් ආදායම් සහිත රැකියාවක් සොයා ගැනීමට ලංකාවෙන් පිටතට යාමට පොළඹවා තිබෙනවා. අද අපේ රට මෙවන් අර්බුදකාරී තත්වයන්ට මුහුණදී තිබෙනවා. තවදුරටත් මේ ආකාරයෙන් ඉදිරියට යන්න බැහැ. මේ ගමන් මාවත අපි වෙනස් කළ යුතුමයි. පළමුවෙන්ම අපි බලය ගත යුතුයි. දෙවනුව රට හැදිය යුතුයි. අපේ රටේ වසර 75ක් පමණ ප්‍රධාන ධාරවන් දෙකක පක්ෂ දෙකක් මත පාලනය කේන්ද්‍රගත වී තිබුණා. අද වන විට ඒ පක්ෂ දෙක දෙකක් නොවන බව ඔප්පු කොට තිබෙනවා. ලංකාවේ පළමු වතාවට මේ දේශපාලන කඳවුරු දෙක එකට එකතුවී තිබෙනවා. වංචා, දූෂණයේදි මේ අය එකම කඳවුරක ඉන්නේ. වංචාවේ යෙදෙනවා. වංචනිකයන් ආරක්ෂා කරනවා. ණය ගැනීම සහ විකිණීමේදී ආර්ථික ප්‍රතිපත්තිය එකක්.

මීට පෙර සිටියේ පාලකයාට බයේ, ඇකිළුණු ජනතාවක්. ඇමතිවරයා එනකොට කාණුවට බහිනවා. ගමේ දේශපාලන අධිකාරිය විසින් බලය ගත්ත චණ්ඩි ටිකක් හිටියා. ගම්මු බිය වැද්දුවා. අද පළමු වතාවට ඇමතිවරයා ජනතාවට බිය වී තිබෙනවා. ලංකාවේ ජනතාව දේශපාලන වශයෙන් මුවහත්වී, සක්‍රීයවී තිබෙනවා. එය කොතරම්ද කියනවා නම්, ලක්ෂ 69ක ඡන්ද ලබා බලයට පත්වූ ජනාධිපතිවරයා පළවා හැරීමට ජනතාව සමත්වී තිබෙනවා. අද ඉන්නේ වෙනස්ව සිතිය හැකි ජනතාවක්. එය අපට හොඳ අවස්ථාවක් උදාකර තිබෙනවා. ඉස්සර යූ.එන්.පී. හෝ ශ්‍රී ලංකා පාලනයක් ගොඩනඟා ගත් ජනතාව ඒ අවස්ථාවල අපි දිහා බැලුවේ, වොචර් ජොබ් එකට අපෙනුත් කිහිප දෙනෙක් යවන්න ඕන කියලා. පාර්ලිමේන්තුවේ කෑ ගහන්න හතර පස්දෙනෙක් යවන්න ඕන කියන චේතනාවෙන් තමයි අපිව තෝරා ගත්තේ. අපේ ආණ්ඩුවක් හදන්න, ප්‍රධාන විපක්ෂය කිරීමට එදා ජනතාවට උවමනාව තිබුණේ නැහැ. අද ලංකාවේ දේශපාලනය වෙනස් වෙලා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගොඩනැගීමේ අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් ඇතිවී තිබෙනවා. මේ සියල්ල දෙස බැලීමේදී අපට පෙනී යන්නේ, බලය ලබාගැනීමේ හැකියාවක් සහිත අවස්ථාව උදාවෙලා, නිර්මාණය වෙලා තිබෙන බව. අපට බලය සඳහා අවශ්‍යතාවයන් තිබුණත් ඒ සඳහා අවශ්‍ය තත්වයන් නිර්මාණය වෙන්නේ නැතිව බලය ලබා ගත නොහැකියි. අන් කවරදාකටත් වඩා වෙනසක අවශ්‍යතාවය සඳහා කාලය උදාවී තිබෙනවා. දැන් තිබෙන්නේ බලය අත්පත් කර ගැනීම සඳහා අපි සමත්ද? අසමත්ද? යන කරුණයි. බලය ලබාගැනීම සඳහා සියලු සම්පත් ඒකරාශී කර, හොඳින් කළමනාකරණය කර, මෙහෙයවීම තමයි ජාතික ජන බලවේගයේ වගකීම.

සහෝදරවරුන්ගෙන් ඉදිරිපත් වෙන ප්‍රශ්නය තමයි, බලය ලබාගැනීම සඳහා අවස්ථාව උදාවෙලා තිබුණත්, ඡන්ද පවත්වන්නේ නැතිව කොහොමද, බලය ලබාගන්නේ? කියන ප්‍රශ්නය. ජනාධිපතිවරණය නොපවත්වා යන්න බැහැ. ලබන වසරේ ඔක්තෝබර් 17ට පෙර අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. අගෝස්තු මාසයේ නාම යොජනා කැඳවිය යුතුයි. ලබන වසරේ ඔක්තෝබර් මේ කාලය වන විට ලංකාවේ අලුත් ආණ්ඩුවක්, අලුත් පාලනකයක්. ඒ ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බවට පත්කර ගත යුතුයි. ඒ සඳහා මතවාදී අරගලයක් කළ යුතුව තිබෙනවා. අද ප්‍රධාන මාධ්‍ය වෙනුවට සමාජ මාධ්‍ය ජනතාව අතරට ගිහින් තිබෙනවා. අද අප සහ විදෙස්ගත ඔබ සමීප කරන්න ප්‍රධාන ලෙස ඉවහල් වුණේ සමාජ මාධ්‍ය. අද ඔබට සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රබල බලපෑමක් කළ හැකියි. ලෝකය දැකපු, ලෝකයේ සමාජ ආරක්ෂණය අත් විඳපු, සෞඛ්‍ය රැකවරණය, අධ්‍යාපන රැකවරණය, රැකියාවන් පිළිබඳ අත්දැකීම් ලද ප්‍රජාවක් ලෙස ඔබට අපේ රටේ සහෝදර ජනතාව දැනුවත් කළ හැකියි. ඒගොල්ලන් අපිට වඩා ධනය තිබෙනවා. එයාලට රාජ්‍ය බලය තිබෙනවා. සාම්ප්‍රදායික මාධ්‍ය තුළ අපිට වඩා උඩින් ඉන්නවා. ඡන්දයකදි ඒ අය සාධක ගණනාවකින් අපට වඩා උඩින් ඉන්නවා. ඒ ඔක්කෝටම වඩා ප්‍රබලයි මහජනයාගේ බලය. ඒ නිසා මහජනයා සංවිධානය කොට ඒ බලයන්ට එරෙහිව පෙළ ගැස්වීම තමයි ජාතික ජන බලවේගයේ කාර්යභාරය.

මේ බල හුවමාරුවේදී විදෙස්ගත ශි්‍රී ලාංකිකයන් වන ඔබට ඒ සඳහා විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී විශාල කාර්යභාරයක් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් ඉටුකළා. එය කරන්න නම් අපි අතර යම් එකඟතාවයන්, අපැහැදිලි තැන් නිරාකරණය කර ගත යුතුව තිබෙනවා. ඔබලා කියන දේ හරි, අපි ඔබලාව විශ්වාස කරන්නේ කොහොමද? කියන ප්‍රශ්නය පැන නගිනවා. ප්‍රශ්නය සාධාරණයි. අවස්ථා ගණනාවකදී, විවිධාකාර නායකයන්, විවිධාකාර පොරොන්දු දුන් ආණ්ඩු, පරම්පරා ගණනාවක් ඇති තරම් ඔබව රවට්ටා තිබෙනවා. අපිව අධ්‍යයනය කරන්න, සමීපව ඇසුරු කරන්න. අපි කියන්නේ කුමක්ද කියා තේරුම් ගන්න. එක වෙලාවකදි, මෙතරම් ප්‍රමාද වුණේ අපරාදේ කියලා ඔබට සිතේවි. දෙවනුව ඔබ අසයි, ඔව්, ඔබලාට බලය ගන්න පුළුවන්. නමුත් බලය ගත්තාට පසුව ආණ්ඩුව හසුරුවන්න කණ්ඩායමක් ඉන්නවාද කියලා. මුදල් ඇමති, ආරක්ෂක ඇමති, විදෙස් ඇමති, කවුද? ආර්ථිකය බාරගන්නේ කවුද? ඒ ප්‍රශ්න සාධාරණයි. අනෙක් පක්ෂ දෙකෙන් ඔය ප්‍රශ්නය අහන්නේ නැහැ. ඒගොල්ලෝ ආණ්ඩු කරලා තිබෙනවා, කරපු හැටිත් දන්නවා. බැසිල් රාජපක්ෂ, රවි කරුණානායක, මුදල් ඇමති ධුරය ගන්න විට සිතුනේ මොකක්ද? ඒගොල්ලන් කළ දේ දන්නවා. නමුත් අපි බලය ඉල්ලන කොට අපෙන් අහනවා, ‘ඕගොල්ලන්ට කළ හැකිද? කරන්න ටීම එකක් ඉන්නවාද?’ කියලා. අපි පිළිබඳ පොඩි සැකයක් තිබෙනවා.

ඔව්, අපිට කණ්ඩායමක් අවශ්‍යයි. කෙහොම කණ්ඩායමක්ද? පුද්ගලිකව කිසිවක් අපේක්ෂා නොකොට, තමන්ගේ දැනුම, තමන්ගේ කාලය, තමන්ගේ ශ්‍රමය රටත් පොදු ජනතාවත් වෙනුවෙන් වැය කළ හැකි අවංක මිනිස්සු. ඒ අවංකභාවය අපේ කණ්ඩායමට තිබෙනවා. මම පුද්ගලයෙක් ලෙස උසස් පෙළ හදාරණ අවස්ථාවේ තමයි දේශපාලනයට සම්බන්ධ වෙන්නේ. මේ දේශපාලනයට සම්බන්ධ වෙලා අවුරුදු 34ක් 35ක් වෙනවා. මම හෝ අපේ ව්‍යාපාරයේ කිසිවෙක් තමන්ට ලැබුණු අමාත්‍ය ධුර, මන්ත්‍රී ධුර, තමන්ට ලැබී තිබෙන දේශපාලන බලය, කිසිවක් අපි මහජනතාවගේ මුදල් නාස්ති කරන්න හෝ හොරකම් කරන්න හෝ යොදවා නැහැ. අපේ රටත් අපේ ජනතාවත් මේ ඛේදවාචකයෙන් මුදා ගැනීමේ අවංක සද් උවමනාවක් අපට තිබෙනවා. අන්න ඒ ටීම් එක අපි ළඟ ඉන්නවා. තමන් සතුව තිබෙන ශක්‍යතාවය, තමන් සතුව තිබෙන දැනුම සැබවින්ම සමාජ ප්‍රගමනය වෙනුවෙන් වැය කිරීමට හැකි පිරිසක් අවශ්‍යයි. දැනුම තිබුණාට වැඩක් නැහැ. තක්කඩි උවමනාවන් වෙනුවට සමාජ අවශ්‍යතාවන් වෙනුවෙන් අපේ දැනුම, ශක්‍යතාවය යොදවනවා නම්. ආර්ථිකය පිළිබඳ, විදේශ කටයුතු පිළිබඳ, අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය පිළිබඳ, නිපුනතාවයන් තිබෙන හැකියාවන් තිබෙන කණ්ඩායමක් අප සතුව ඉන්නවා. ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුම් ඇති, මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය ජනක් කුමාරසිංහ, මහාචාර්ය සීතා බණ්ඩාර අපේ ආර්ථික කමිටුවේ ඉන්නවා. එක්සත් ජනපදයේ බොහෝ පර්යේෂණ ආයතනවල ලංකාවේ අය වැඩ කරනවා. ඒ දැනුම උකහාගෙන රට දියුණු කරන්න අපේ රටේ ආණ්ඩුවක් තිබුණේ නැහැ. නායකයෙක් හිටියේ නැහැ. අන්න ඒ පාලකයා තමයි ජාතික ජන බලවේගයේ පාලකයා. ජාතික ජන බලවේගයේ ඇමතිවරයා. ඒ ඒ විෂයයන් කවුරු කවුරුද බාරගන්නේ කියා, අපි ළඟ දළ චිත්‍රයක් තිබෙනවා. ඇමතිවරයා සමඟ වැඩ කරන කණ්ඩායම කවුද කියලා අපිට සැලසුමක් තිබෙනවා. මොකද තනි පුද්ගලයෙකුට හාස්කම් කරන්න බැහැ. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ හැදෙන්නේ සාම්ප්‍රදායික ඇමති මණ්ඩලයක් නොවෙයි. හැදෙන්නේ ඉන් ඔබ්බට යන සමාජයේ සෑම කෙනෙකුගේම සක්‍රීය දායකත්වය ලබා ගන්න ලෑස්ති ආණ්ඩුවක්. ඒක අපේ රටේ සිදුවෙන අලුත් වෙනසක්. ඒ වගේම ආණ්ඩු කරන ක්‍රමයත් වෙනස්.

ඊළඟ කරුණ ලෙස, අපේ රටට ශක්තිමත්ම රාජ්‍ය පාලනයක් අවශ්‍යයි. අපේ රටේ රාජ්‍ය පාලන යාන්ත්‍රණය අතිශය අකාර්යක්ෂමයි. මුළු රාජ්‍ය යාන්ත්‍රණයත් රාජ්‍ය ක්‍රියාවලියත් දේශපාලනයෙන් නිදහස් කර, සියලු දෙනාටම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රජයේ රැකියාවට අවතීර්ණ වීමට අවස්ථාවත්, රජයත් සමග ව්‍යාපාර කිරීමටත් අවස්ථාව අපි සලසා දෙනවා. ඒ වගේම අමාත්‍යවරයා සහ ඔහු වටා සිටින වළල්ලක් අතේ තමයි සමස්ත ආර්ථික දේහයම ඒකරාශී වී තිබෙන්නේ. මේක වෙනස් කරන්න ඕනෑ. අපි ආර්ථික ප්‍රජාතනත්‍රවාදය ඇති කරනවා. ඒක අතිශය වැදගත්. ඔබට තිබෙන හැකියාව, දක්ෂතාවය, ඔබට තිබෙන ව්‍යාපෘති සැලැස්ම මත ඔබට ආර්ථිකයට ප්‍රවිශ්ට වෙන්න අවස්ථාව උදාකර දෙනවා. කල්ලියක් අතේ, තුන් හතර දෙනෙක් අතේ ආර්ථිකයෙන් රටක් ගොඩනගන්න බැහැ. සෑම කෙනාටම ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාවන් නිර්මාණය කිරීමෙන් විතරයි රටක ආර්ථිකය ඉස්සරහට ගේන්න හැකියාව තිබෙන්නේ. අපි ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරනවා.

ලෝකයේ කිසිදු රටකට හුදකලා වෙලා ජීවත් වෙන්න බැහැ. ආර්ථිකයෙන්, සංනිවේදනයෙන්, තාක්ෂණයෙන්, ලෝකය එකට ගැට ගැසී තිබෙනවා. බලවත් රාජ්‍යයන් අතර යුද්ධ ලෙස ප්‍රකාශ නොවුණත් බල ගැටුම් තිබෙනවා, එක්සත් ජනපදය සහ චීනය අතර, ආර්ථික ගැටුමක් තිබෙනවා. ඒ සඳහා වෙළෙඳපොළ අත්පත් කර ගැනීමේ ගැටුමක් තිබෙනවා. ඉන්දියාව සහ චීනය අතර ගැටුමක් තිබෙනවා. රුසියාව එක පැත්තකිනුත්, යුරෝපය තව පැත්තකිනුත් එනවා. ලෝකයේ විවිධ බල කේන්ද්‍ර තිබෙනවා. ශ්‍රී ලංකාවට බල කේන්ද්‍රයක් වීමේ ශක්‍යතාවය මේ මොහොතේ නැහැ. හැබැයි අර බලකේන්ද්‍රවල තිබෙන ගැටුමට වළක්වාලීමට නොහැකි ලෙස පාර්ශ්වකරුවන් හෝ එයින් අගතියට පත්වෙන කොටස්කරුවන් බවට පත්වී තිබෙනවා. බල ගැටුම තිබෙන්නේ අපව අත්හැර නොවෙයි. ලෝක සිතියමෙන් අපව මකා නොවෙයි. බල කේන්ද්‍රයක් නොවුනාට, අපිත් ලෝක සිතියමේ ඉන්නවා. එහෙම නම් පළමුවෙනි විදෙස් ප්‍රතිපත්තිය බවට පත්වෙන්නේ ඒ කිසිදු බල කඳවුරකට ඍජුව හෝ වක්‍රව දායකත්වය නොසපයන, නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක්. අසූව දශකයේ අපි පටන් ගත්තා, විකිණීම සහ ණයට ගැනීම. අදත් ආර්ථික ප්‍රතිපත්තිය විකිණීම සහ ණයට ගැනීමයි. රනිල් වික්‍රමසිංහ අදත් අපේක්ෂා කරන්නේ කුමක්ද? කොහොම හරි ණයක් ගන්න එක. තිබෙන ටිකත් විකූණා ගන්න එක. ඒක අලුත් ගමනක් ද? ඒක පැරණි අසාර්ථක ගමනමයි. අපි එයින් තීරණාත්මක ලෙස වෙනස් විය යුතුයි. ලෝක වෙළඳපොළේ ආර්ථිකයෙන් කොටසක් අත්පත් කර ගැනීම සඳහා වූ සැලැස්මක් අපිට තිබෙනවා.

අපි සමත් වෙන්න ඕනෑ ලෝකයේ නව අවශ්‍යතාවලට අවශ්‍ය දැනුම, ලෝකයේ නව අවශ්‍යතාවලට අවශ්‍ය භාණ්ඩ සඳහා ලෝක වෙළඳපොළේ පංගුවක් අත්පත් කර ගැනීම සඳහා අපි සමත් විය යුතුයි. ලෝකයේ කොයිතරම් වෙනස්කම් වුණාද? නමුත් අපි රටක් ලෙස එතනමයි. මේ පාලකයෝ ලැජ්ජා විය යුතු නැද්ද? සුද්දා යනකොටත් අපේ ප්‍රධාන ආර්ථිකය තේ, රබර්, පොල්. අදත් ඒ ආර්ථිකයමයි. අපි ලෝකයේ සිදුවෙන නව වෙනසකට ගැලපෙන භාණ්ඩ සහ දැනුමේ වෙළඳපොළ අත්පත් කර ගැනීමට අසමත්වීමේ ප්‍රතිවිපාක අද භුක්තිවිඳිමින් ඉන්නවා.

නව ලෝකයට අවශ්‍ය දැනුම උකහා ගන්නා ලංකාවක් අපි හදන්න ඕනෑ. ලෝකයේ වර්ධනයට අවශ්‍ය වන භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලා අපි පටන් ගන්න ඕනෑ. අන්න එවැනි භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ ඉදිරි ලංකාවක් අපි ගොඩනඟනවා. ණය ගැනීමෙන් විකිණීමෙන් මේ රට ගොඩදාන්න බැහැ. පලස්තීන – ඊශ්‍රායල ගැටුමට ඉරානය අවිආයුධ සහිතව මැදිහත් වුණොත් ලෝකයේ නැවත විශාල ගැටුමක් ඇති වෙනවා. රනිල් වික්‍රමසිංහ කියනවා පලස්තීන-ඊශ්‍රායන් යුද්ධය හේතු කොටගෙන අනාගතයේ තෙල් මිල ඉහළ යා හැකියි කියලා. අපට ලෝකයේ වසංගත වළක්වන්න බැහැ. යුද්ධ වළක්වන්න බැහැ. මහා මූල්‍ය කඩා වැටීම් වළක්වන්න බැහැ. ලෝකයේ වසංගත, යුද්ධ, මූල්‍ය කඩාවැටීම් ඇති වෙනකොට එයට ඔරොත්තු දෙන ආර්ථිකයක් අපි හදන්න ඕනෑ. අපේ රටේ සම්පත්, අපට අත්පත් කර ගත හැකි වෙළෙඳපොළ, අපේ තිබෙන කළමනාකරණය, තාක්ෂණය ඒකාබද්ධ කර ගත් නව වෙළෙඳපොළක් සොයාගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොමු විය යුතුයි. මේක තමයි අපේ ආර්ථිකය. නොසැලෙන ආර්ථිකයක්. ඔරොත්තු දෙන ආර්ථිකයක්. “එක්සත් ජනපදයට කිවිසුමක් ගියොත් අපට හෙම්බිරිස්සාව හැදෙනවා. එහෙට හෙම්බිරිස්සාව හැදුණොත් අපට නියුමෝනියාව හැදෙනවා.” ඒක චිනෙට, දකුණු කොරියාවට, මැලේසියාවට, වියට්නාමයට වෙන්නේ නැහැ. ඒ රටවල් ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයෙන් කොටසක් අත්පත් කරගෙන තිබෙනවා. වර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා. අපි ක්‍රමිකව හරිම තැන් ටික තෝරාගෙන වේගවත්ව, පසුවිපරම් කරමින් නිරන්තරයෙන් මෙහෙය විය යුතුයි.

අපි හඳුනාගෙන තිබෙනවා, අපි වෙනස් විය යුතු තැන් ටික කොතැනද කියලා. අන්න ඒක වේගවත්ව, පසුවිපරම් සහිතව අපි මෙහෙයවනවා. අපට බලය ලබා ගන්නත්, බලය ලබා ගත්තාට පසුව මේ රට ගොඩනඟනනත් අවශ්‍ය කණ්ඩායමත්, දැක්මත්, විශේෂ උවමනාවත් තිබෙනවා. අපි ඒ වැඬේ කරනවා. මෙය අපට පමණක් කළ හැකි දෙයක් නොවෙයි. ඔබ ලංකාවෙන් බැහැරව ජීවත් වුවත්, අදත් ලංකාව යම් ජයග්‍රහණයක් අත්පත් කර ගත් විට ඔබ සතුටු වෙනවා. ඔබ එක්සත් ජනපදයේ ජීවත් වුණත් ඔබ වැඩිපුර බලන්නේ ලංකාවේ තොරතුරු. අහන්නේ ලංකාවේ සිංදු. ඒ කියන්නේ අපි ශරීරයෙන් දුරස් වුණත් අපේ බැඳීම තිබෙන්නේ අපේ මහපොළොවත් සමග. අප හැමදෙනාගේම හිතේ සුබ සිහිනයක් තිබෙනවා. අපේ මාතෘ භූමිය දියුණු රටක් එහි වෙසෙන ජනතාව සුන්දර ජීවිතයක් ගත කරන රටක් අපේක්ෂා කරන සිහිනයක් තිබෙනවා. ඒක මටත් තිබෙනවා. ඔබටත් තිබෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම එකතුවී ඒ සිහිනය සැබෑ කරමු. ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරන්න ඕනෑ. මේක දේශපාලන ව්‍යාපාරයක් නොවෙයි. මේක මහජන ව්‍යාපාරයක්. හැම දෙනාටම එකතු වෙලා මේ රට ගොඩනැගීම වෙනුවෙන් බලය අත්පත් කර ගමු යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *